දින 359කට පසු පිල්ලෙයාන් අධිකරණයට

වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.එහිදී අධි කරණය නියෝග කළේ නීතිපති උපදෙස් ලැබෙන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ රවීන්ද්‍රනාත් සිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදායි.
ඔහු අද දක්වා දින 359ක් ත්‍රස්තවාදය වැළැකීමේ පනත යටතේ රඳවා තබා ගෙන සිටීම විශේෂත්වයක්.
එලෙස රඳවා තබාගැනිමට සිව් වතාවක් රැඳවුම් නියෝග ලබාගෙන තිබුණු අතර සිව්වැනි රැඳවුම් නියෝගය අවසන් වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 03 වැනිදායි.
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
රඳවාගෙන සිටි පිල්ලෙයාන්ගෙන් මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහනේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් ද අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වනවා.
මේ අතර අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පිල්ලෙයාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීරණය කළා.
පිල්ලෙයාන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මෙවන් පසුබිමක වන අතර ඔහු වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල අධිකරණයේ පෙනී සිටියා
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබූ පිල්ලෙයාන් වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.
කෙසේ වෙතත් 2021 වසරේ දී මඩකලපුව මහාධිකරණය විසින් ඔහු නිදහස් කරනු ලැබුවේ අධිචෝදනා පවත්වාගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කිරීම හේතුවෙන්.

Share