දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන සහ වන්දි ප්රදානය කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන, කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර නවතා දමා තිබුණු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ද යළි ආරම්භ කිරීඹට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පසුගිය වසරේ මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් මධ්‍යම පළාතට වැඩි බලපෑමක් එල්ල වූ අතර ඉන් පීඩාවට පත් වූ කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, කර්මාන්තකරුවන්ට සහ පූර්ණ සහ අර්ධ වශයෙන් නිවාස හානි සිදු වූ පවුල් සඳහා වන්දි ප්රදානය කිරීම සිදුකෙරෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී.
සුළි කුණාටුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයින්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන්දි මුදලක් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා.
කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ ලෙස භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්රදානය සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක් පත් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙනවා.
මේ අතර, මහනුවර – යාපනය A 9 මාර්ගයේ, මහයියාව උමං මාර්ගය ඉදිකිරීම් කටයුතු මෙන්ම ඉදිකිරීම් නවතා තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිරි වැඩ කටයුතුද, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදලෙන් වෙන්කෙරුණු රුපියල් බිලියන 1.9ක මුදල මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් රජයෙන් එක් සිසුවෙකුට රුපියල් 25,000ක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබෙන අතර එයින් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන්ද, රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින්ද ලබා දීම සිදු කෙරෙනවා.
ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්, ජනාධිපති අරමුදලින් ලබා දෙන රුපියල් 10,000ක දීමනාව මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්ද අදාළ මුල්‍ය ප්රදානය කඩිනමින් ලබා දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය එ්කකය වැඩිදුරටත් සඳහන් කළේ.





