දිට්වා නිසා පට්ටිපොල මල් වගාකරුවන් දැඩිදුෂ්කරතාවයට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය අඹේවෙල දක්වා සීමාවීමත් සමඟ තම නිෂ්පාදන වෙළඳපොලට ගෙන යාමට නොහැකිව පට්ටිපොල මල් වගාකරුවන් දැඩිදුෂ්කරතාවයට පත්ව තිබෙනවා.
මෙම මල්කරුවන් බහුතරයක් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන්නේ දුම්රිය ප්‍රවාහන සේවාවයි.
එලෙස වෙළඳපොලට මල් තොග ගෙන යාමට නොහැකිවීමෙන් දැන් ඔවුන්ට සිදුව ඇත්තේ මල් පැළ ගලවා විසිකර දැමීමට බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර, පැවති ආපදා තත්ත්වයෙන් බලන දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු වූ අතර අද බලන දුම්රිය ස්ථානයේ ද දක්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්.

මුහුදු මට්ටමේ සිට අඩි 6204ක් උසින් පිහිටි ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොල ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් වර්ගය වන්නේ මල් වගාවයි.
පසුගිය කාලසීමාවේදී මල් වගාකරුවන් හයිඩ්‍රින්ජියා සහ ⁠ඇස්ටමේනියා මල් වෙළඳපොලට ගෙන ගියේ බදුල්ල – කොළඹ දුම්රිය ඔස්සේ ප්‍රවාහනය කරමින්.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමග ඇති වූ නායයාමේ සිද්ධීන් හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුවන්නේ අඹේවෙල දක්වා පමණයි.
මේ හේතුවෙන් තම මල් නිෂ්පාදන ප්‍රවාහනය කර ගැනීමට නොහැකිව පට්ටිපොල මල් වගාකරුවන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.
එසේම පැවති තෙල් අර්බුදය හමුවේ මල් තොග නුවරඑළියට රැගෙන ගොස් අතරමැදියන්ට ඒවා භාරදීමේ දී තමන්ට අධික වියදමක් දැරීම අලාභදායි බවයි පට්ටිපොල මල් වගාකරුවන් පවසන්නේ.
මෙම හේතුවෙන් මල් වගාකරුවන්ට සිදුව ඇත්තේ මල් පැළ ගලවා ඉවත් කිරීමටයි.

සිය මල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට කඩිනමින් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය පිළිසකර දෙන ලෙසට පට්ටිපොල මල්වගාකරුවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේම දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ නායයාම් හේතුවෙන් කඩුගන්නාව බලන දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී දැනට මාස 4ක් පමණ කාලයක් ගත වී තිබෙනවා
අදටත් හානි වූ දුම්රිය මාර්ගය එලෙසම පවතින අතර ඓතිහාසික බලන කොටු පවුර සමීපයේ ඇති බලන දුම්රිය ස්ථානය මේ වනවිට ද ඉබි යතුරු දමා වසා දමා ඇති ආකාරය ටීවී සුප්‍රීම් නිව්ස් කැමරා කාචයට හසුවුණා.
දිට්වා සුළි කුණාටුවට පෙර දහස් ගණනක් ජනතාව දුම්රිය පොළ හරහා ගමන් කළ අතර දුම්රිය ස්ථානයේ ද අද දක්නට ලැබෙන්නේ පාළු ස්වභාවයක්.

උඩරට දුම්රිය මාර්ගය භාවිත කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින් සහ මගීන් පත්ව ඇති ගැටලුවලට විසඳුමක් ලැබෙන්නේ කවදා ද?
ඒ පිළිබඳ අප අවධානයෙන්.

Share