ත්‍රි’මලය සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානයේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළද මහා සංඝරත්නයට හෝ ජනතාවට පහරදීමක් සිදු කර නැතැයි පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ප්‍රදේශයේ පවතින සාමකාමී වාතාවරණය තුළ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පාර්ශ්වයන් එකඟතාවයකට පැමිණීම හේතුවෙන් අදාළ බුදුපිලිමය නැවත වැඩම කරවූ බවයි.
මේ අතර, විහාරස්ථාන භූමිය තුළ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලිසිය අද පෙරවරුවේ ස්ථානීය පරීක්ෂණයක් ද පැවැත්වූවා.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පෙරේදා සහ ඊයේ දින ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සමාජයේ දැඩි අවධානයට යොමුවුණා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය 16 වැනි දින ත්‍රිකුණාමල නගර වෙරළ ආරක්ෂ කලාපය තුළ අනවසර කුටියක් ඉදි කර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර නිලධාරී ඇතුළු පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් එම අනවසර ඉදිකිරීම් නවතා දමන ලෙස දැනුම් දුන්නද එය නොනවත්වා සිදු කරගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එම බුදුපිළිමය තැන්පත් කර ඇති ස්ථානයට යාබද ස්ථානයේ එවැනි අනවසර ඉදිකිරීමක් ඉවත් කර ගන්නා ලෙසට විහාරාධිපති හිමියන්ට පරිසර අමාත්‍යංශය විසින් ඔක්තෝබර් 16 වැනිදා ලිඛිතව දැනුම්දී ඇති පසුබිමක නොවැම්බර් 16 වැනිදා මෙම ප්‍රශ්න සහගත ඉදිකිරීම සහ බුදු පිළිම ස්ථාපිත කිරීම සිදුව ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසන්නේ මෙම ප්‍රදේශයේ සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් බැවින් යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදුපිලිමයට හානියක් සිදු කල හොත් එම ප්‍රදේශයේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාමට ගැටලුවක් වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේ බුදු පිළිම වහන්සේ ආරක්ෂිත එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත වැඩම කරවීමට කටයුතු කළ බවයි.
පසුගිය 16 වැනිදා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වරාය පොලිසියට කළ පැමිණිල්ලට අනුව පවතින අනවසර ඉදිකිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වූ පිරිස කලහකාරී ලෙස හැසිරීමේදී එය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ද කිසිදු අවස්ථාවක මහා සංඝරත්නයට හෝ ජනතාවට පහරදීමක් සිදුවී නොමැති බව පොලිසිය පවසනවා.
එසේම ප්‍රදේශයේ පවතින සාමකාමී වටාපිටාව තුළ ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්හ්වයන් එකඟතාවකට පැමිණ ඇති බැවින් පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිලිම වහන්සේ නැවත වැඩම කරවා ගරුතර මහා සංඝරත්නයට සහ දායක සභාවට භාරදී ඇති බවද ඊයේ දිනයේ නිකුත් කර තිබූ පොලිස් නිවේදනයේ සඳහන් වනවා.
මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රි සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරස්ථානයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පොලිසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා.

මේ අතර, ත්‍රිකුණාමලය විහාරස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් අදහස් පලවුණා.

Share