ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මකවීම වළක්වාලන ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට අද රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හිමියන්.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ 16 වැනිදා රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.
කෙසේවෙතත් ඊයේ දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තා.
අද දිනයේ විහාරස්ථානයට පැමිණි පොලිසිය ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අද වැඩම කළා. පොලිස් ප්‍රතිචාරය දැඩි ලෙස හෙළා දුටු උන්වහන්සේ චෝදනා කළේ පොලිස් නිලධාරීන් බෞද්ධ ප්‍රජාවට සහ පන්සලේ කටයුතුවලට අගෞරව වන ආකාරයෙන් ක්‍රියාකර ඇති බවටයි. මේ අතර ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරය ආශ්‍රිතව උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට වැඩමකර තිබුණා.
පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එහි ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ බෙදා ගනිමින් මේ බව සඳහන් කළා.
මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයායි.
තම විහාරය අමරපුර නිකාය යටතේ විහාර හා දේවාලගම් පනතට අනුකූලව 1951 වසරේ ලියාපදිංචි කළ විහාරස්ථානයක් බව විහාරාධිපති හිමියන් පවසනවා.
තම විහාරස්ථානයට අයත් 57/ ටීජී දරණ ඉඩම් කොටස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ත්‍රිකුණාමලය නගර සභාව විසින් ලිපියක් නිකුත් කළ බවත් පෙත්සමේ සඳහන්.
කෙසේ වෙතත් මෙම විහාරස්ථානයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2025.07.18 සහ 2025.07.25 දිනවල ලිපි නිකුත් කළ අතර ඊට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත තමන් වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාර හිමියන් පවසනවා.
එහෙත් එම අභියාචනය පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්.
සිය අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට පෙර අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වහන්සේගෙන් කරුණු විමසීමක් හෝ තමන් වහන්සේගේ ස්ථාවරයට කන් දීමක් නොකළ බවද විහාරාධිපති හිමියන් සිය පෙත්සම මගින් පෙන්වා දෙනවා.
අදාල ඉදිකිරීම තුළින් වෙරළ සංරක්ෂණ රෙගුලාසි කිසිවක් උල්ලංඝනය නොවන අතර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි අත්තනෝමතික මෙන්ම ද්වේෂ සහගත තීන්දුවක් බවත් පෙත්සමෙන් කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව අදාල විහාරස්ථාන ඉදිකිරීම් හෝ ඉන් කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කඩා ඉවත් කිරීම් වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විහාරාධිපති හිමියන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම පෙත්සම විවාද කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාල ඉදිකිරීම් කඩා ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.





