ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරී 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ එම පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරුවේ ඉදිර්පත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ අනවසර කුටියක් ඉදිකර බුදු පිළියමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10දෙනෙකු ජනවාරී මස 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඉන්පසු තවත් අවස්ථා කිහිපයකදී එම නඩුව කැඳවූ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසට ඇප හිමිවූයේ නැහැ.
අදාළ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර රිට් පෙත්සමක්ද පසුගියදා නිෂ්ප්‍රභ කෙරුණා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රියාත්මක නඩුව අද යළි කැඳවනු ලැබුවේ එවන් පසුබිමකයි.
ඒ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මහතා ඉදිරියේදීයී.
ඒ අනුව නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන පැමිණියා.
එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සෙසු සැකකරුවන් වෙනුවෙන් විත්තියේ නීතිඥයින් මහාධිකරණය හමුවේ ඇප අයදුමක් ගොනු කළා.
කෙසේ වෙතත් එම ඇප අයදුම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇතොත් එය ගොනු කිරීම සඳහා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය දින දෙකක කාලයක් ඉල්ලා සිටියා.
ඒ අනුව එම මූලික විරෝධතා ගොනු කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා එම දින දෙකක කාලය ලබාදෙමින් නීති කෘත්‍යය යළි එලැබෙන 11 වැනිදා සලකා බැලීමට නියෝග කළා.
එම මහාධිකරණයේ නියෝගය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ලබන 11වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.





