ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම වේගවත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව තම පවතින බලශක්ති අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැවත සංවර්ධනය කිරීම වේගවත් කිරීමට බලාපොරොත්තු වන බව ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා උපුටා දක්වන වෙබ් අඩවිය වාර්තා කළේ ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ඇතිව එම කටයුතු කරන බවයි.
තෙල් ගබඩා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් මෙම ව්‍යාපෘතිය ඉන්ධන සැපයුම් අභියෝග කළමනාකරණය කිරීම සඳහා “ස්ථිර විසඳුමක්” ලෙස සලකනු ලබන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ත්‍රිකුණාමලය තෙල් ටැංකි අලුත්වැඩියා කිරීමේ ත්‍රෛපාර්ශවික ගිවිසුමකට ශ්‍රී ලංකාව එළැඹුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී.
ශ්‍රී ලංකා රජය විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියන 32ක් වෙන් කර තිබෙනවා.
දෙවැනි ලෝක යුද සමයේ ඉදිකළ මෙම සංකීර්ණය තෙල් ටැංකි 99කින් සමන්විත අතර ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතිනවා.
ටැංකි 14ක් ලංකා අයි ඔ් සී සමාගමට බදු තිබෙනවා.
තවත් ටැංකි 61 ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස කළමනාකාරණය කෙරෙන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (පුද්ගලික) සමාගම හරහායි.
සැපයුම් දාම කඩාකප්පල් කර ඉන්ධන පිරිවැය ඉහළ නංවා ඇති වත්මන් ගෝලීය බලශක්ති අර්බුදය මධ්‍යයේ දශක ගණනාවක් පුරා ප්‍රමාද වූ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීත් ප්‍රශ්න කෙරුණා.
මෙවන් පසුබිමක THE HINDU වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරන්නේ තාවකාලික විසඳුම් තිරසාර නොවන බැවින්, ගෝලීය බලශක්ති තත්ත්වය සැලකිල්ලට ගෙන තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා දිගුකාලීන උපාය මාර්ගයක් අවශ්‍ය බවයි
පෙර පැවති රජයන් ඉන්ධන ගබඩා කිරීමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් වර්තමාන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව ඇතැයි විජිත හේරත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි දෙවන ලෝක යුද සමයේ ඉදිකළ තෙල් ටැංකි සංකීර්ණය නැවත සංවර්ධනය කිරීම බලශක්ති අර්බුදයට “ස්ථිර විසඳුම” බවයි අමාත්‍යවරයා ද හින්දු සමග පැවති සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත්තේ.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාව දැනටමත් එහි හවුල්කරුවන්ට සංකල්ප යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ටෙන්ඩර් අදියරට යාමට පෙර තාක්ෂණික අංශ බලශක්ති අමාත්‍යාංශය විසින් සමාලෝචනය කරමින් පවතින බව ද හින්දු වාර්තාවේ සදහන්.
ව්‍යාපෘතියට ඉන්දියාව සම්බන්ධ වීමට මීට පෙර විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් ජාතික ජනතා බලවේගය ආණ්ඩුවේ නව උත්සාහය සැලකිය යුතු ප්‍රතිපත්තිමය වෙනසක් ද සනිටුහන් කරනවා.

Share