ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සැමියා රඳවා තබා ගැනීම වටා ඇති තත්ත්වයන් පිළිබඳ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ බරපතළ කණස්සල්ල පළකර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන ලද ලිපියකින් ඇය කියා සිටින්නේ පවුලේ අය බැලීමට සහ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඔහුට සීමාවන් පනවා ඇති අතර, නිවසෙන් ආහාර ලබා දෙන ලෙස කරන ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි.
නිශ්චිත නඩුව සම්බන්ධයෙන් ලිඛිත පැහැදිලි කිරීමක්, අධිකරණයට ඉදිරිපත් කිරීමේ දිනයන් පිළිබඳ පූර්ව දැනුම්දීමක් සහ සිය සැමියාගේ නීතිමය අයිතිවාසිකම් සහ යහපැවැත්ම පිළිබඳ සහතික කිරීම් ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ තම පුතාට තම පියා බැලීමට හැකිවන පරිදි පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා ඉල්ලුම් කළද, ඔහු හමුවීම වැළැක්වෙන පරිදි අදාළ ලේඛනය තවමත් නිකුත් කර නොමැති බවයි.
සලේගේ නීති කණ්ඩායම, සම්පූර්ණ නඩු වාර්තාවට ප්‍රවේශ වීම, පවුලේ අයට හමුවීමට අවස්ථාව ලබා ගැනීම, ආහාර සැපයීමට අවසර දීම සහ සලේගේ යහපැවැත්ම සඳහා වන ආරක්ෂක විධිවිධාන ඇතුළු සහන ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ද ගොනුකර තිබෙනවා.
මාර්තු 04 වැනිදා නීතිඥ උපදේශනයක් පිළිබඳ ද සලේ ගේ බිරිඳ කණස්සල්ල පළ කරන අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ පවත්වන ලද බව ඇය පැවසුවා.
ඇයට අනුව, එක් නිලධාරිනියක් සංවාදය පටිගත කරන බව අඟවන ආකාරයෙන් මේසය මත ජංගම දුරකථනයක් ද තබා තිබෙනවාල
නීතිඥ-සේවාදායක රහස්‍යභාවය උල්ලංඝනය කිරීමක් උපුටා දක්වමින් නීතිඥවරු විරුද්ධ වීමෙන් පසුව එම උපාංගය ඉවත් කරගෙන ඇතැයි සඳහන්..
සලේ ගේ බිරිඳ පවසන්නේ තම සැමියා රඳවාගෙන සිටින නඩුව සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 35882/24 හි සැකකරුවෙක් ලෙස නම් කළ බව වාර්තා වුවද, ඔහු තවමත් සැකකරුවකු ලෙස නම් කර නොමැති බව හැඟෙන්නේ යැයි ඇය පවසනවා.
පොලිසිය පැවසුවේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරබනසම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගත් බවයි.
නමුත් ඔහු අත්අඩංගුවට ගත් නිශ්චිත චෝදනාවක් පොලිසිය මාධ්‍ය හමුවේ සඳහන් කිරීමෙන් වැළකී සිටියා.
අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ දැනට දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටිනවා.





