හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහ ඇමෙරිකාව සමග එකඟතාවකට පැමිණිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් දින 10 කාලය හෙට අවසන් වීමට නියමිතයි.
ඒ බව සිහිපත් කරමින් ට්‍රම්ප් ‘Truth Social’ හි සටහනක් තබමින් පවසා ඇත්තේ, “සියලුම ආකාරයේ විනාශයන් ඉරානයේ හිසමත පතිත වීම සිදුවනු ඇති” බවයි.
ඉරානයේ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වුවහොත් ඇමරිකාවට ද “නිරයේ දොරටු විවෘත වනු ඇති” බව ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව අනතුරු අඟවනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ට්‍රම්ප් පළමුව මාර්තු 21 වැනිදා පැය 48ක කාලයක් ප්‍රකාශයට පත් කළේ ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බවට ද අනතුරු අඟවමින්.
මාර්තු 26 වැනිදා එය තවත් දින 10කට දීර්ඝ කරනු ලැබුවා.
එහිදී ට්‍රම්ප් පැවසුවේ පකිස්තානයේ මැදිහත්වීමෙන් සිදු කරන ලද වක්‍ර සාකච්ඡාවල “විශාල ප්‍රගතියක්” ඇති බවයි.
එම දින 10ක කාල සීමාව සඳුදා අවසන් වනවා.
එසේ තිබිය දී ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා ටෲත් සෝෂල් හි සටහනක් තබමින් පැවසුවේ කාලය වේගයෙන් අවසන් වන බවයි.අපාය ඉරානය මත කඩා වැටීමට තවත් පැය 48ක් පමණක් ඇතැයි ට්‍රම්ප් ලියා තිබෙනවා. යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ කරන අතරතුරදීම, මෙලෙස දිගින් දිගටම ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙළන බවට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.
එවන් පසුබිමක ඉරානයේ බලශක්ති පද්ධති සහ තෙල් ගබඩා ඉලක්ක කර ගනිමින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා අමෙරිකානු රජයේ අවසරය අපේක්ෂාවෙන් පසුවන බව ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
එම නිලධාරියා අනාවරණය කර ඇත්තේ, මෙම ප්‍රහාර ඉදිරි සතිය ඇතුළත එල්ල වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. මේ අතර ඉරානය ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ බලශක්ති මධ්‍යස්ථානවලට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා අතිශය විනාශකාරී ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවයි
මේ අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් අමෙරිකාව එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාවකින් ඉරාන හමුදා නායකයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි එම ප්‍රහාරයට අදාළ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර ඇත්තේ, ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ එම හමුදා නායකයින් රැසක් මෙම ප්‍රහාරයෙන් “විනාශ කර ඇති බවයි. තවත් ඉලක්ක රැසක් විනාශ වූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර පසුගිය සිකුරාදා දකුණු ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබියදී වෙඩි තබා බිම හෙලන ලද ඇමරිකානු F-15E ප්‍රහාරක යානයේ සිටි දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා සෙවීමේ මෙහෙයුම් අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
යානයේ සිටි ප්‍රධාන නියමුවා ඇමරිකානු හමුදා විසින් මුදාගෙන ඇති නමුත් අවි පද්ධති නිලධාරියා පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නැහැ.
මෙම මුදාගැනීමේ මෙහෙයුමට එක් වූ ඇමරිකානු A-10 වර්ගයේ ප්‍රහාරක යානයකට ද වෙඩි වැදී හානි සිදුව ඇති අතර එහි නියමුවා ද ආරක්ෂිතව මුදාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම යානා බිම හෙලූ බව එරට රජය පවසන අතර ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ මුදාගැනීමේ මෙහෙයුමට එක් වූ බ්ලැක් හෝක් Black Hawk හෙලිකොප්ටර් යානාවලට කඳුකරයේ වසන ගෝත්‍රික කණ්ඩායම් විසින් වෙඩි තබා ඇති බවයි
මෙම ප්‍රකාශ සනාථ කරන වීඩියෝ දර්ශන ද මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
අතුරුදන් වූ නියමුවා පණපිටින් අල්ලා දෙන ඕනෑම අයෙකුට පවුම් 50000 කට අධික ත්‍යාගයක් ලබා දෙන බවට ද ඉරානය ප්‍රකාශයට පත් කළා. අතුරුදන් වූ නියමුවා ද සතුරාගෙන් බේරී සිටීම සඳහා විශේෂ පුහුණුවක් ලබා ඇති අතර ඔහු සොයා ගැනීමට ඇමරිකානු පැරාරෙස්කියු කණ්ඩායම් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබනවා.





