නීති විරෝධී අයුරින් වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයක් යාපනය කොඩිකාමම්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යට කර පලාගොස් තිබෙනවා.
අනතුරින් පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසුවා.
යාපනය, කොඩිකාමම් කේප්පලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් නවත්වන ලෙසට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අණ කර තිබුනේ ඊයේ උදෑසන 09 යි 30 ට පමණ.
කෙසේ වෙතත් එහිදී ට්‍රැක්ටර් රථය නොනවත්වා ධාවනය කර තිබුණේ පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදියද අනතුරට ලක් කරමින්.
අනතුරින් පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොඩිකාමම් පොලිසියට අනියුක්තව සේවය කළ 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් චාවකච්චේරි රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුර සිදුකර පලාගිය ට්‍රැක්ටර් රථයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සොයා කොඩිකාමම් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
මේ අතර වැලි කැණීම සහ ප්‍රවාහනය තහනම් කර ඇති පසුබිමක බිංගිරිය පොලිස් වසමට අයත් මංකඩවල් කිහිපයක මහා පරිමාණ වශයෙන් වැලි කැනීම් සිදු කරන බවට භූ විද්‍යා හා පතල් කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඒ අනුව කළ වැටලීමකදී වැලි පැටවූ ලොරි රථ දෙකක් ඔවුන්ගේ භාරයට ගෙන බිංගිරිය පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.
වැලි පටවමින් සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා බිංගිරිය පොලිසිය විමර්ශන සිදුකරනවා.





