ජාතිය ඇමතූ ට්‍රම්ප්

ඉරානය සමඟ පවතින යුද්ධයේ මූලික අරමුණු මේ වන විට සම්පූර්ණ වීමට ආසන්න වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ දී ජාතිය අමතමින් ප්‍රකාශ කළා.
අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පවතින ගැටුම් නිමා වූ පසු වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය “ඉබේම විවෘත වනු ඇති බවටයි.

ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රී 9.00 ට ආරම්භ වූ මෙම විශේෂ දේශනය මිනිත්තු 20කට සීමා වී තිබුණා.
පසුගිය පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර නිදහස් කරන තෙක් ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි.
අප ඉරානය අමතක වී යන ලෙස හෝ ඔවුන් පවසන පරිදි ගල් යුගයට යන තෙක්ම ප්‍රහාර එල්ල කරනවා
මෙහිදී ඔහු කියා සිටියේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමරිකාවේ මිත්‍ර රටවල් ඉදිරිපත් විය යුතු බවයි.
ඇමරිකාවට එය තවදුරටත් අවශ්‍ය නැහැ, සෙසු රටවල් ඒ සඳහා ධෛර්යය උපදවා ගත යුතුයි” යනුවෙන් ද ඔහු කියා සිටියා.

ඔවුන්ට යළි ඉරානය ගොඩනැඟීම සඳහා තෙල් විකිණීමට සිදුවන බැවින් ස්වභාවිකවම මෙම මුහුදු මාර්ගය විවෘත කිරීමට ඔවුන්ට සිදුවන බවත් පැවසූ ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ “ඉරානය මූලික වශයෙන් විනාශ වී අවසන්, දුෂ්කරම කොටස දැන් නිම වී ඇති බැවින් ඉදිරි කාලය පහසු වනු ඇත”යනුවෙන්.

මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අමෙරිකානු ජනතාව වෙත සෘජු පණිවිඩයක් නිකුත් කරමින් ඉරානය කිසිවිටෙකත් යුද්ධයක් ආරම්භ කර නොමැති බවත්, අමෙරිකානු ජනතාව සමඟ කිසිදු සතුරුකමක් නොමැති බවත් ප්‍රකාශ කර සිටියා.
මෙහිදී ඔහු ප්‍රශ්න කර සිටියේ කලාපීය යුද්ධයකදී අමෙරිකාව ක්‍රියා කරන්නේ තමන්ගේම අවශ්‍යතා මතද නැතහොත් “ඊශ්‍රායලයේ අතකොළුවක්” ලෙසද යනුවෙන්.
තම රට විසින් මේ දක්වා ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ග ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ගත් සාධාරණ පියවර බවත්, දෙරට අතර පවතින උග්‍ර ආතතියට හේතුව 1953 කුමන්ත්‍රණය, පනවා ඇති සම්බාධක සහ මෑතකදී එල්ල වූ ප්‍රහාර බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ගත් තීරණය අමෙරිකානු රජයේ වගකීමක් බවත්, ඉරානය පිළිබඳව ලෝකය හමුවේ මවා ඇති බිහිසුණු ප්‍රතිරූපය “නිර්මාණය කරන ලද්දක්” බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ යුද සන්ධානයෙන් ඉවත් වීමේ හැකියාව පිළිබඳව යළිත් දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ඇමරිකාව ඉරානය සමඟ සිදු කරන යුද්ධයට සහාය නොදක්වන රටවල් සමඟ පවතින සබඳතා යළි සලකා බලන බවයි.
මේ අතර යුරෝපීය රටවල් පවසන්නේ තමන්ගෙන් උපදෙස් ලබා නොගෙන ඇමරිකාව ආරම්භ කළ ඉරාන යුද්ධයට සෘජුවම සම්බන්ධ විය නොහැකි බවයි.

නේටෝ මහලේකම් මාර්ක් රූට් ඇතුළු ලෝක නායකයින් මේ වන විට ට්‍රම්ප් සන්සුන් කිරීමට උත්සාහ කරමින් සිටින අතර, ඇමරිකාවේ හමුදා ශක්තිය නොමැතිව නේටෝ සංවිධානයේ පැවැත්ම දැඩි අවදානමකට ලක් වනු ඇති බවටයි ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මේ අතර ලෝකයේ දිනපතා පරිභෝජනය කරන තෙල් ප්‍රමාණයෙන් හතරෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය වන හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්පුර්ණයෙන් වසා දැමීමට ඉරානය සූදානම් බව ඉරාන ඉහළම පෙළේ හමුදා උපදේශක සහ හිටපු IRGC ප්‍රධානී මොහ්සෙන් රෙසායි ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ එසේ වසා දැමුවහොත් “මුළු ලෝකයම එකතු වුවද” එය යළි විවෘත කිරීමට ඉඩ නොතබන බවයි.
හොර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින “අශ්ව ලාඩමක”හැඩය සහිත අතිශය පටු භූගෝලීය පිහිටීම ඉරානයට පවතින දැවැන්ත යුදමය වාසියක් බව ද මොහ්සෙන් රෙසායි පවසා තිබෙනවා.

විශාල නෞකාවකට මෙම පටු තීරය පසුකර යාමට පැය 7ක් හෝ 8ක් වැනි දීර්ඝ කාලයක් ගතවන බවද පවසූ ඔහු කියා සිටියේ එම කාලය තුළ ඕනෑම නෞකාවක් ඉරාන ප්‍රහාරකයන්ගේ සෘජු ඉලක්කයක් බවට පත් කළ හැකි බවටයි.

මේ අතර ඊශ්‍රායලයේ තෙල් අවිව් නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් අද අලුයම ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මාලාවක් එල්ල කර තිබෙනවා.
ඉරාන බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව, ඊශ්‍රායල බුද්ධි අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් රැඳී සිටි බව කියන නිවසක් වෙතයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ

මෙම ප්‍රහාරයෙන් එම ස්ථානයේ සිටි නිලධාරීන් පිරිසක් මියගොස් හෝ බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වන නමුත්, ඊශ්‍රායල බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර ඉරානයේ විදේශ සබඳතා පිළිබඳ මූලෝපායික කවුන්සිලයේ ප්‍රධානී සහ එරට විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන කමල් ඛරාසි ඉලක්ක කරගනිමින් අද අලුයම එල්ල වූ දරුණු ගුවන් ප්‍රහාරයකින් ඔහු බරපතළ තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ පෞද්ගලික නිවස සෘජුවම ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු නිවස තුළ රැඳී සිට ඇති බව තහවුරු වි තිබෙනවා.

හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම ඉරාන සුප්‍රීම් නායකයාගේ සමීපතම උපදේශකයෙකු වන ඛරාසි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ජාත්‍යන්තර සබඳතා මෙහෙයවන ප්‍රධානතම දේශපාලන චරිතයක්.

මේ අතර, මාසයකට අධික කාලයක් පවතින මෙම විනාශකාරී යුද්ධය වහාම නතර කරන ලෙස බලකරමින් ඊශ්‍රායල පුරවැසියන් දහස් ගණනින් වීදි බැස දැවැන්ත විරෝධතාවල නිරත වෙමින් සිටිනවා.

විරෝධතා කරුවන් චෝදනා කරන්නේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අන්තගාමී පිරිස් විසින් පෞද්ගලික දේශපාලන වාසි තකා මෙම යුද්ධය ඇදගෙන යන බවටයි.

මේ අතර සිරියාවේ ඩාරා ප්‍රදේශයට ආසන්න සකියා නගරය කේන්ද්‍ර කරගත් තවත් ප්‍රබල සන්නද්ධ කණ්ඩායමක් ඊශ්‍රායලයට එරෙහිව අද නිල වශයෙන් යුද ප්‍රකාශ කර තිබෙනවා.
ඒ දකුණු සිරියාවේ රැඳී සිටින ඊශ්‍රායල ආරක්ෂක බලකායන්ට එරෙහිව “ජිහාඩ්” සටනක් ආරම්භ කරන බව පවසමින්.

මේ සිරියාව තුළින් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළ දෙවන ප්‍රධාන සන්නද්ධ කණ්ඩායමයි.

මේ අතර ඇමරිකානු සහාය ඇතිව ඉරානයට එරෙහිව ප්‍රබල ප්‍රහාර එල්ල කළද, ගාසා තීරය, සිරියාව සහ ලෙබනනය යන පෙරමුණු කිහිපයක එකවර සටන් කිරීමට සිදුවීම ඊශ්‍රායලයට දැඩි පීඩනයක් එල්ල කර තිබෙනවා.

ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ආරක්ෂිත කලාප පිහිටුවීමට ඊශ්‍රායලය ගන්නා උත්සාහය හේතුවෙන් 600,000කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති අතර මෙය කලාපීය අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමට හේතු වී තිබෙනවා.

ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ, බ්‍රිතාන්‍යය විසින් ඉරානයට එරෙහිව දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව බ්ලූම්බර්ග් පුවත් සේවය ඊයේ වාර්තා කළා.
ඒ අනුව, ඉරානය විසින් වසා දමා ඇති උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් ගේ ප්‍රධානත්වයෙන් රටවල් 35ක සහභාගීත්වයෙන් යුත් විශේෂ අන්තර්ජාල හමුවක් අද පැවැත්වීමට නියමිතයි.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානය සමඟ සෘජු සබඳතා පවත්වන රටවල් හරහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට උත්සාහ කිරීම වුවද, එම උත්සාහයන් ව්‍යර්ථ වුවහොත් ගත හැකි හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
විශේෂයෙන්ම ඉරානයේ තෙල් සහ නාවික ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් දැඩි සම්බාධක පැනවීම සහ නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා.

Share