ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ජාතික නාමල් උයන, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරිම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එය සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරිම මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනේ ජනාධිපති කාර්යාලයේදීයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුණු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය නිර්මාණයක්.
ජාතික නාමල් උයන ලොවට හඳුන්වාදී මේ වන විට වසර 35ක් සපිරෙන අතර බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ප්‍රථම වරට ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරිම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ එවන් පසුබිමකයි.
ඒ එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීම මතයි.
මෙහිදී ජාතික නාමල් උයන මෙරට ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා

මෙහිදි ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මුල් දින කවරයක් ද නිකුත් කළ අතර ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්‍රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බවයි.
එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීම මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගයකරනු ලැබුවා.

Share