ජල කප්පාදු කාල සීමාව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීමට රජයේ අවධානය

කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකරන ජල කප්පාදු කාල සීමාව අඩු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා

එහි සභාපති චන්දන බණ්ඩාර සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ සිදු කරන ජල කප්පාදුව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවයි.

වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල සැපයුමට එල්ල වී ඇති බාධා සැළකිල්ලට ගනිමින් අද රාත්‍රි 8 සිට හෙට පස්වරු 2 දක්වා පැලැන්වත්ත ප්‍රදේශයේ මත්තේගොඩ, බ්‍රාහ්මනගම, කිරිගම්පමුණුව, දිපංගොඩ, පොල්ගස්ඕවිට පාර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවෙනවා.
මෙම ජල කප්පාදුව පාදුක්ක, හෝමාගම, පන්නිපිටිය සහ පැලැන්වත්ත ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල ප්‍රදේශවලට දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට අලුයම 1 දක්වා පැය 3ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙනු ඇති.
කෙසේවෙතත්, අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ පවතින තත්ත්වය හමුවේ සිදු කරන ජල කප්පාදුව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවයි.

මේ අතර කිරිඳිවැල – නැදුන්ගොල්ල ගම්මානයේ 115ක් පමන ජීවත් වන ජනතාව පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය නොමැති වීම හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා
ප්‍රජා ජල ව්‍යාපෘතියක් මගින් මෙම ගම්මානයට ජලය සැපයුවද එම ව්‍යාපෘතියට අයත් ළීදෙහි ජල මට්ටම පහත බැස තිබීම හේතුවෙන් ගම්වාසින් මෙම ගැටලුවට මුහුණ පා තිබෙනවා .
කෙසේවෙතත් එම ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තම ජල අවශ්‍යතාවයට ස්ථිර විසඳුමක් ලබා දෙන තෙක්, තමන් මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වය ගැන සලකා බවුසර් මගින් හෝ තමන්ට ජලය සැපයීමට බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙසයි.

මේ අතර කළුතර ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රී 8.00 සිට අද උදැසන 6 දක්වා අඩු පීඩනය යටතේ ජලය සැපයුම සිදු කෙරුන ද වාද්දුව බෝධිරාජ ප්‍රදේශයේ ජනතාව පවසන්නේ අඩු පීඩනයෙන් ජලය ලැබිම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි

Share