ජනපති හමු වූ IMF නියෝජිතයින්

ශ්‍රි ලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.

ඒ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහන යටතේ ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනය පිළිබඳව මෙම සාකච්චාවේ දී අවධානය යොමු කෙරුණු බවත්, වත්මන් රජය යටතේ අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය ඒ්කකය පවසනවා.
විශේෂයෙන්ම, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, විධිමත් ලෙස ආදායම් කළමනාකරණය සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම මගින් මෙරට ආර්ථිකය පැවති තත්ත්වයට සාපේක්ෂව වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් බවට පත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය ඒ්කකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙහිදී මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරටට එල්ල වී ඇති අභියෝග හමුවේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කෙරෙහි සිදුව ඇති බලපෑම කළමනාකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
එහිදී මහජනතාවට ඇති වන දුෂ්කරතා සහ බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒ්කකය පවසන්නේ.
එම අභියෝග මධ්‍යයේ වුවද, ළඟා කරගත් ආර්ථික වර්ධනය පවත්වා ගනිමින් මෙරට ජන ජීවිතය සහ ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ ප්‍රසාදයට ලක් වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රේ යුරෙවිච් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වුණා
මෙහිදී අදහස් දැක්වූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව රුසියාවේ ඉතාමත් පැරණි මිතුරෙකු බව සිහිපත් කළ බවත්, එම දීර්ඝකාලීන සුහදතාවය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත් පවසා තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව අසීරු බලශක්ති ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රුසියානු තෙල් කඩිනමින් ශ්‍රි ලංකාවට සැපයීමට පියවර ගන්නා බවට ද රුසියානු ආයෝජකයන් ලංකාවේ නව ආයෝජන සඳහා යොමු කිරීමට මෙන්ම තව තවත් සංචාරකයන් මෙරටට එවීමට උපරිම උත්සාහ ගන්නා බවට ද ඔහු පොරොන්දු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
එසේම රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගැනීමටත් රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බව සඳහන්.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය විජිත හේරත්, අපගේ පැරණි මිතුරෙකු වන රුසියානු රජය ශ්‍රි ලංකාවට විවිධාකාරයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම මහත් සේ අගය කරන බවත්, වසර 70කට ආසන්න කාලයක් පවතින දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවත් පවසා තිබෙනව.

මේ අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවාහන සහ සැපයුම් සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සහ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 8 සිට 10 දක්වා ආයෝජනය කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
ඒ වෙනුවෙන් නව වරායන් දෙකක් සහ ගුවන් තොටුපල සංවර්ධනය කිරීමට ජාත්‍යන්තර සහ පුද්ගලික ආයෝජකයන්ට ආරාධනා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.

“ඉන්දියානු සාගරයේ මුතු ඇටය’ ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ තීරණාත්මක සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස පිහිටා ඇති අතර, එහි ඓතිහාසික හා භූගෝලීය පිහිටීම ඉතා වැදගත්. මේ පිහිටීම රුසියාව, චීනය, යුරෝපය සහ අප්‍රිකාව වැනි සමුද්‍ර කලාප මෙන්ම සේද මාවත වැනි ඉපැරණි මාර්ග හරහා සම්බන්ධ කරමින් නැගෙනහිර සහ බටහිර ලෝකය අතර සම්බන්ධතාවය ඇතිකර තිබෙනවා.
සමුද්‍රීය සහ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික භූමිකාව ශතවර්ෂ ගණනාවක් පුරා විහිදෙන්නක්. ශ්‍රී ලංකාව රුසියාව සමඟ විශේෂයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සමීප සහයෝගීතාවයක් පවත්වනවා. සෘජු ගුවන් සම්බන්ධතා වල වර්ධනය වන විභවය උපයෝගී කරගැනීම සඳහා රුසියානු ගුවන් ගමන් වාර වසර පුරාවටම ලැබෙනු ඇතැයි මම විශ්වාසය පල කරනවා.
සාමකාමී සමාජයක් සහ ස්ථාවර ආර්ථිකයක් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාව මධ්‍යස්ථ සහ මිත්‍රශීලී ලෙස කටයුතු කරන අතර, සතුරු හෝ මිතුරු රාජ්‍යයන් වශයෙන් වර්ගීකරණයට මැදිහත් වෙන්නේ නැහැ. ස්වෛරීභාවය සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ගරු කරන සියලුම මිත්‍රශීලී ජාතීන් සමඟ සහයෝගීතාවයට ශ්‍රී ලංකාව විවෘතයි.”

Share