ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් විරුවන් සැමරුම අදයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා තරුණ ප්‍රජාව විසින් දියත් කළ ප්‍රථම සන්නද්ධ අරගලය අප්‍රේල් කැරැල්ල ලෙස හැඳින්වෙනවා.
1971 අප්‍රේල් 5 වැනිදා රාත්‍රියේ වැල්ලවාය පොලිසියට එල්ල කළ ප්‍රහාරයෙන් කැරැල්ල නිල වශයෙන් ආරම්භ වූ අතර එහි නායකත්වය දැරුවේ රෝහණ විජේවීර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණයි.
එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය පෙරළා දමා සමාජවාදී පාලනයක් පිහිටුවීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.
කෙසේ වෙතත් මාස කිහිපයක් ඇතුළත රජයේ හමුදා විසින් කැරැල්ල මර්දනය කෙරුණු අතර තරුණ තරුණියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් සිරගත කරනු ලැබුවා.
සෑම වසරකම අප්‍රේල් 5 වැනිදා “අප්‍රේල් විරු සමරුව” පවත්වනු ලබන්නේ 71 කැරැල්ලෙ දී දිවිපිදුවන් සිහිපත් කිරීම සඳහායි.
සදා සමරමු සොහොයුරෝ තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ 55 වැනි අප්‍රේල් විරු සමරු ප්‍රධාන උත්සවය වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණා.
පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය ආරම්භ වුණේ අප්‍රේල් විරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි.

මීට අමතරව බදුල්ලේ දී සහ මාතර දී ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් විරුවන් සැමරුවා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණින් බෙදී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අප්‍රේල් විරු සැමරුම අද පැවැත්වුණේ කොළඹ නගර ශාලාවේදී.
ඔවුන්ගේ තේමාව වූයේ අධිරාජ්‍යවාදයට විනාශය සමාජවාදයට විජයග්‍රහණය යන්නයි.

Share