ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණයක් සම්බන්ධයෙන් වන චෝදනාවක් සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන්නා.
චෝදනා භාරදීමෙන් අනතුරුව අමාත්‍ය කුමාර ජයකොඩි රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස ද නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාරදීම සිදු වුණා.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි අද මහාධිකරණය හමුවේ පෙනී සිටියා.
අමාත්‍යවරයාට ඇප නියම කිරීමෙන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි මස 6 වැනිදා කැඳ වන ලෙසට ද අධිකරණය නියම කළා.
2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් සිටියදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා





