කිරින්දේ මත්ද්‍රව්‍ය සැකකරුවන්ට රැඳවුම් නියෝග

කිරින්ද ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබෙනවා.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනෙක් ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ කිරින්ද පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කිරින්ද අඳගල වැල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 345ක් සිය භාරයට ගත්තා.
එම මත්ද්‍රව්‍ය රැගෙන යෑම පැමිණි සිටි පුද්ගලයින් පුද්ගලයින් 7 දෙනෙකු සමග වාහන 6ක් ද පොලිස් භාරයට ගැණුනා.
අත් අඩංගුවට ගත් සැකකරුවන්‌ගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සියලු දෙනා ඊයේ පස්වරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සොයාගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරිමට අවසර දෙන ලෙසයි.
ඒ අනුව සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.
එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබනවා.
මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දික්වැල්ලේ ‘රන් මල්ලි’ සහ හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ ගෝලයකු වන අංගොඩ ප්‍රියංකර නමැත්තන්ට අයත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Share