ඉරානය තුළ සති කිහිපයක කාලයක් පුරා ක්‍රියාත්මක වන ගොඩබිම් මෙහෙයුම් මාලාවක් සඳහා පෙන්ටගනය සූදානම් වෙමින් පවතින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.
එවන් පසුබිමක මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම සහ කලාපීය ගැටුම් සමනය කිරීම අරමුණු කරගත් තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් අද පකිස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.
පකිස්ථාන විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙම විශේෂ හමුව සඳහා ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය සදහන් කළා
මෙම සාකච්ඡාව අද සහ හෙට පැවැත්වෙනු ඇති.
ඉරානයේ වත්මන් යුදමය තත්ත්වය පාලනය කිරීම සහ මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ගත හැකි ඒකාබද්ධ පියවර පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉරානය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර අතිශය උණුසුම් සහ නොසන්සුන්කාරී දුරකථන සංවාදයක් සිදුව ඇති බව NDTV වාර්තා කරනවා.
මෙම සංවාදයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇමරිකානු පාර්ශවයෙන් දැඩි දෝෂදර්ශනයක් එල්ල වී ඇති බව පුවත් වාර්තාවේ සඳහන්.
වාර්තා වන පරිදි, ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් නෙතන්යාහු විසින් ලබා දී ඇති ඇතැම් පොරොන්දු සහ තොරතුරු පිළිබඳ ඇමරිකානු උප ජනාධිපතිවරයා සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති බවද සදහන්.
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ නවතම ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් එහි රේඩාර් පද්ධතියට බරපතල හානි සිදුව තිබෙනවා.
ඉරානය විසින් යලිත් වරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ඉලක්ක කර නවතම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ද දියත් කර තිබුණා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ බැලැස්ටික් මිසයිල 20ක් සහ ඩ්‍රෝන යානා 37ක් සිය රට දෙසට එල්ල වූ අතර, ඒවා ඉලක්ක වෙත ළඟා වීමට පෙර සාර්ථකව විනාශ කළ බවයි.
සියලුම ඩ්‍රෝන යානා අහසේදීම විනාශ කළ බවත්, කිසිදු හානියක් සිදු නොවූ බවත් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ද පැවසුවා.
මේ අතර ඉරානයේ බසීජ් ස්වේච්ඡා බලකායට අයත් කාන්තාවන් පිරිසක් නවීන අවි ආයුධ අතැතිව සිටින දර්ශන පෙළක් මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා
මෙය සාමාන්‍යයෙන් ඉරාන රජය විසින් සංවිධානය කරනු ලබන සම්බන්ධීකරණ ප්‍රදර්ශනයක් වන අතර, මෙවැනි ඒකක සෘජුවම යුද පෙරමුණේ සටන් වැදීමට වඩා රාජ්‍ය ආරක්ෂාව සහ මතවාදී ස්ථාවරත්වය විදහා දැක්වීම සඳහා යොදා ගනු ලබන බව වාර්තා වෙනවා.
මේ අතර මැදපෙරදිග ඇති ඊශ්‍රායල සහ අමෙරිකා විශ්වවිද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවනවා.
ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණා.
කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දන්වා තිබෙනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මෑතකදී පත් කරන ලද ප්‍රධාන අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහීඩි ඝාතනය කර ඇති බවට ඉරාන විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් විසින් පුවතක් ප්‍රසිද්ධ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම තොරතුර සම්බන්ධයෙන් ඉරාන රජය හෝ ස්වාධීන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නැහැ.
අහමඩ් වහීඩි ඉරානයේ හිටපු ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයායි.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මොහොමඩ් පක්පූර් ඝාතනය වීමෙන් පසු මාර්තු 1 වනදා වහීඩි මෙම තනතුරට පත් කෙරුණා.
මෙම වර්ධනයන් මධ්‍යයේ පෙන්ටගනය ඉරානය තුළ සති කිහිපයක කාලයක් පුරා ක්‍රියාත්මක වන ගොඩබිම් මෙහෙයුම් මාලාවක් සඳහා සූදානම් වෙමින් සිටින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.
ඇමරිකානු රජයේ උසස් නිලධාරීන් උපුටා දක්වමින් පළ වූ වාර්තාවට අනුව, මෙම මෙහෙයුම් සඳහා විශේෂ මෙහෙයුම් බලකායන් මෙන්ම සාමාන්‍ය පාබල හමුදා ඛණ්ඩ ද යොදා ගැනීමට නියමිතයි.
ට්‍රම්ප් පරිපාලනය දැනටමත් මැදපෙරදිග කලාපය වෙත අතිරේක ඇමරිකානු මැරීන් භට පිරිස් යොමු කර ඇති බවද එම වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගොඩබිම් ආක්‍රමණ සැලසුම් සඳහා සිය අවසන් අනුමැතිය ලබා දෙන්නේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බවද වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.
ඉරානයට එරෙහි යුද්ධය පස්වැනි සතියට එළැඹෙද්දී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාරවලින් සිවිල් ස්ථාන 93,000කට වැඩි ප්‍රමාණයකට හානි වී ඇතිය ඉරාන රතු කුරුස සංගමය?? නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා. ඒ අතර, නිවාස 71,547ක්ද වෙළෙඳසැල් 20,779ක්ද ඇතැයි සඳහන්.
මේ අතර “දෙවියන් ඇමරිකාවට ආශීර්වාද කෙරේවා” යනුවෙන් ඉරානයේ පිටුවහල්ව වෙසෙන රේසා පහ්ලවී පවසනවා.
ඉරාන වැසියන් නිදහස සහ බටහිර ලෝකය සමඟ සහයෝගීතාවය අපේක්ෂා කරන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්රයට සහ ඔහුගේ ක්රියාකලාපයන්ට එරෙහිව සංවිධානය කර ඇති “No Kings” විරෝධතා මාලාව අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකදී ඊයේ පැවැත්වුණා.
අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරා ස්ථාන 3,100කදී පැවති විරෝධතා සඳහා මිලියන 9කට අධික පිරිසක් එක් වු බව වාර්තා වනවා.





