ඉන්ධන හමුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළට

ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ 25% ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමිකරුවන් පවසනවා
මේ අතර අද දිනයේත් ඇතැම් පිරවුම්හල් වසා දමා තිබූ අතර මේ හේතුවෙන් ගොවිජනතාව පත්ව තිබුණේ දැඩි අසීරුතාවයකටයි.
මෙවන් පසුබිමක් තුළ රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් රැස්වී තීරණ රැසක් ගෙන තිබෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම්කාරි වාතාවරණය මැද ඉන්ධන කළමනාකරණය කිරීමට කිව් ආර් ක්‍රමය හා ඔත්තේ ඉරට්ටේ දින ක්‍රමය හඳුන්වාදීමත් සමග මෙරට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පැවති පෝලිම් කැපී පෙනෙන ලෙස අඩු වුණා.
කෙසේ වෙතත් මේ වනවිට ඉන්ධන පෝලිම් අඩු වුවද, ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිකම හේතුවෙන් වසා දමා තිබෙන ආකාරය දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් ගොවිජනතාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
තම අස්වනු නෙලා ගැනීම සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා තවදුරටත් පෝලිම්වල සිටීමට ගොවිජනතාවට සිදුව තිබෙනවා.

මේ අතර ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමිකරුවන් මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටින්නේ වැඩි වූ ඉන්ධන මිල හමුවේ තමන්ට 25% ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි.

මේ අතර ඉන්ධන ගැටලු හමුවේ රට පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහල වැටී තිබෙනවා.
ගොවීන් චෝදනා කරන්නේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි.
කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානවල කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මිල පහළ වැටීමක් සිදුව තිබුන ද සිල්ලර වෙළඳපොලේ එළවළු මිලේ කැපීපෙනෙන පහළ වැටීමක් තවමත් දක්නට නැහැ.
නිර්මානය වී ඇති මේ තත්ත්වය හේතුවෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයින් ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

මේ අතර, රාජ්‍ය සේවය විධිමත් කිරීමට පත් කළ අමාත්‍ය අනුමණ්ඩල කමිටුව දෙවන වරටත් රැස් වුණේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති කාර්යාලයේදී සිදුවූ මෙම හමුවේදී මහජනතාවට රජයේ සේවා බාධාවකින් තොරව ලබාදීම සහ රාජ්‍ය සේවකයින් මුහුණදෙන ගැටලු මඟ හරවා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යාම සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර, නියමිත විභාග පැවැත්වීම රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව සැපයීම සහතික කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.
මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය ප්‍රවාහන පද්ධතියේ අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මීට අමතරව, නිවසේ සිට වැඩ කිරීම සහ පවතින සේවා වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වාදීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
එසේම සියලුම අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල වත්මන් බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස් කම් සිදුකිරීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, ඉන්ධන අර්බුදය හේතුවෙන් භාණ්ඩ රැසක මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

Share