ඇඹිලිපිටියේ ඝාතනයකට දස දෙනෙකුට මරණ දඬුවම

ඇඹිලිපිටිය, මුල්ලෙයාය ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතන චෝදනාවකට වරදකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් ඊයේ මරණදඬුවම නියම කරනු ලැබුවා.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ දියණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට කළ අවවාද නොතැකූ තරුණයකු සිය පවුලේ සාමාජිකයන් සමග එක්ව පහරදී කපා කොටා ඝාතනය කළ පියකු ඇතුළු දස දෙනකුටයි.

2011 ඔක්තෝබර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේ දී වීරසිංහ ආරච්චිලාගේ වර්ණ ධම්මික නයනකුමාර නමැති තරුණයා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා
ඝාතනයට ලක්වූ තරුණයා එම පවුලේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබූ බවත්, පියා එම ප්‍රේම සම්බන්ධතාව නවත්වන ලෙසට ඝාතනයට ලක් වූ තරුණයාට දැඩිව අවවාද කොට තිබෙනවා.
එම අවවාදය නොතැකූ තරුණයා සිය පෙම්වතිය බැලීමට 2011 ඔක්තෝබර් මස 10 වැනිදා පස්වරුවේ ඇගේ නිවසට ගිය අවස්ථාවේදී විත්තිකාර පියා ඔහුව පළමුව ඔහුට පහරදී ඇතැයි සඳහන්.
ඒ අතරතුර සෙසු විත්තිකාරියන් හා විත්තිකරුවන් නව දෙනාද ඝාතනයට ලක් වූ තරුණයාට තියුණු ආයුධවලින් හා අතින් පයින් කළ පහර දීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් විත්තිකරුවන් වූ එකම පවුලේ කාන්තාවන් තිදෙනකුට හා පියා ඇතුළු දසදෙනකුට මෙලෙස මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.
නඩුවේ දසවැනි හා එකොළොස්වැනි විත්තිකරුවන් ලෙස නම්කොට තිබූ එම පවුලේම තවත් සාමාජිකයන් දෙදෙනකු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණා.

Share