ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන සීයක ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ මෙම වසර සඳහා ශ්‍රී ලංකාවට අනුමත කර තිබූ ඩොලර් මිලියන 380ක මුදලට අමතරවයි.
මෙරට පවතින ආර්ථික සහ සමාජීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්දා මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූනා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවතීමේ හමුවේදී නියෝජිත කණ්ඩායම පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 100ක අතිරේක ප්‍රතිපාදන ලබා දෙන බවයි.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 380 මූල්‍ය ප්‍රතිපාදන මිලියන 480 දක්වා ඉහළ නැංවෙනු ඇති.
එලෙස වැඩිකරන ලද මුළු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරීමටත් ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මෙම අතිරේක මූල්‍ය පහසුකම් සැපයෙන්නේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන්.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඉදිරියේ දී ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ දිට්වා ආපදා තත්ත්වයෙන් පසු රට යළි ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවයි.
මෙහිදී පශ්චාත් ආපදා තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද, ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා පවසා ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානම් බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙහිදී සඳහන් කළ ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා, වැඩිදුරටත් පවසා ඇත්තේ මධ්‍යම කඳුකරයේ ජල පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට ක්‍රියාත්මක කළයුතු වැඩසටහන් සඳහා සහාය වීමට සූදානම් බවයි.





