කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත් වූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායකට ආරක්ෂිතව ගොඩබස්වනු ලැබුවා.
මෙම යානය ගොඩබස්වනු ලැබුවේ ඉන්ධන අඩු කිරීම සඳහා පැය දෙකකට වැඩි කාලයක් හලාවතට ඉහළ අහසේ පියාසර කිරීමෙන් පසුවයි. අදාළ ගුවන් යානය අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා මේ වනවිට යොමුකර ඇතැයි ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මගීන් 202 දෙදෙනෙක් සහ 10 දෙනෙකුගෙන් යුත් ගුවන් කාර්ය මණ්ඩලයක් සමග TK 733 දරණ තුර්කි ගුවන් සේවයට අයත් යානය ඊයේ රාත්‍රී 10ට පමණ ගුවන් ගතව තිබුණේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමටයි.
එය ප්‍රංශයේ නිෂ්පාදිත A – 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක්.
ගුවන් ගත වුව ද එහි රෝද හැකිලීමට නොහැකි බව ගුවන් නියමුවා දැන ගැනීමෙන් පසු ආරක්ෂක පියවරක් ලෙස එය නැවතත් කටුනායකට ගොඩ බැස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා යානයේ බර අඩු කර ගැනීම සඳහා ඉන්ධන දහනය කර ගැනීමේ අරමුණින් හලාවත ප්‍රදේශයේ අඩි 4000ක් පමණ ඉහළින් නොට් 140ක වේගයෙන් යානය පියසර කළා.
එලෙස පැය දෙකක් පමණ එකම චක්රයක පියාසර කළ ගුවන් යානය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර ඇතමුන් බියට ද පත්ව තිබුණා.
ගුවන් යානා නිරීක්ෂණ වෙබ් අඩවියක් වන flightradar24 ඔස්සේ එය 20,000කට පිරිසක් නිරීක්ෂණය කර තිබූ අතර එම මොහොතේ වැඩිම පිරිසකගේ අවධානය යොමු වූ ගුවන් යානය එයයි.
හදිසි ගොඩබෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළ මනා සූදානමකින් පසු වූ අතර ගිලන් රථ සහ ගිනි නිවන රථ සමගින් ගලවා ගැනීමේ කණ්ඩායම් ධාවන පථය අසලම ස්ථානගත කර තැබුණා.
එමෙන්ම මීගමුව කලපුවේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු සමග ස්ථානගතව සිටියේ ඔ්නෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමේ සූදානමින්.
කෙසේ වෙතත් අලුයම 12.27ට ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට යානයේ නියමුවා සමත් වුණා. මගීන් සියලු දෙනා සහ කාර්ය මණ්ඩලය ද නිරුපද්‍රිතව යානයෙන් ඉවත් කර ගැණුනා.
මේ අතර,මගීන් සහ කාර්ය මණ්ඩලය නැවත යානයෙන් පිටතට රැගෙන ආරක්ෂිතව ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසා ප්‍රධාන ධාවන පථය වෙත වෙනත් ගුවන් යානයක පැමිණීමට බාධා එල්ල වුණා.
මෙම ගුවන් යානය ගොඩබැස්සවීමට පෙර ගුවන් අවකාශයේ පැය 2ක පමණ කාලයක් සිටීම හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබෑමට තිබූ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි සහ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත හරවා යවනු ලැබුවා.
අද අලුයම 2 ත් 3 ත් අතර කාලසීමාවේදී එම යානා යළි කටුනායක වෙත පැමිණියා.
එමෙන්ම සීෂෙල්ස් සිට පැමිණි arkia සමාගමට අයත් ගුවන් යානයක්, දෝහා සිට පැමිණි Qatar Airways සමාගමට අයත් ගුවන් යානයක් සහ බැංකොක් සිට පැමිණි AirAsia සමාගමට අයත් ගුවන් යානයක් අවශ්‍ය උපදෙස් ලැබෙන තෙක් අහසේ රැඳී සිට ප්‍රමාදයක් සහිතව කටුනායකට ගොඩ බස්වනු ලැබුවා.
මේ අතර තාක්ෂණික දෝෂයට ලක් වූ තුර්කි ගුවන් සේවයට අයක් යානය මේ වන විට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර තිබෙනවා.





