රන්වල ගැන විපක්ෂයෙන් චෝදනා

සපුගස්කන්ද දෙණිමුල්ල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වල මහතා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ නියෝග කෙරුණා.
මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයාගේ තත්තවය විමසා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින්.

සපුගස්කන්ද – හෙයියන්තුඩුව – දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ ජිප් රථය අනතුරට ලක්ව තිබුණේ,පෙරේදා පස්වරු 7.45ට පමණ.
පවර්හවුස් හන්දියේ සිට ගල්වල හන්දිය දෙසට ධාවනය කරමින් සිටියදී ඔහු පැදවූ ජිප් රථය ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක ගැටී ඇති අතර, අනතුරුව එය දකුණට ධාවනය වී ඉදිරියෙන් පැමිණි කුඩා මෝටර් රථයක ද මුහුණට මුහුණලා ගැටී තිබුණා.
අනතුරෙන් කාර් රථයේ ගමන්ගත් 25 හැවිරිදි කාන්තාවක් මාස 6ක් වයසැති අ‍ැගේ බිළිඳා සහ 51 හැවිරිදි එම කාන්තාවගේ මවද තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
පළමුව ඔවුන් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලටත් 6 මසැති බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් මාරු කර යැවුණා.
දරුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ බිළිඳා පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

කෙසේ වෙතත්, අනතුරෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී තිබුණේ පෙරේදා අලුයම් කාලයේදී වීම නිසා ආන්දෝලනාත්මක සංවාදයක් මතුවූනා.
අනතුරින් තුවාල ලැබූවන්ගේ ඥාතීන් ඔහු බීමතින් සිටි බවට එල්ල කළ චෝදනා හමුවේ එම තත්ත්වය තවත් තීව්‍ර වුණා.

මේ අතර සාමාන්‍යයෙන් මාර්ග අනතුරක දී අනතුරට භාජනය වූ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන නීති පිළිවෙල මෙම අනතුරේදි සිදු නොවීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියා.

කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා බීමතින් සිටි බවට චෝදනා කළ ද පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමේදී බීමතින් රිය පැදවීමේ චෝදනා ගොනුකර නොතිබීමත් විශේෂත්වයක්.

එවන් තත්ත්වයක් හමුවේයි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක්වුණේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියෝග කළේ අශෝක රන්වල මහතා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
සැකකාර මන්ත්‍රීවරයා තවදුරටත් පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රැකවල් මැද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළකළා.

Share