අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග කුමක්දැයි අධිකරණය හමුවේ පෙනී සිට පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ඒ අනුව වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයෙකු මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට මේ පිළිබඳ පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවත් නියෝගයේ සඳහන්.
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ඉදිකර තිබෙන නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අලි ඇතුන් සුරැකීමේ සංගමය ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ කරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවෙි සලකා බැලුවා.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෝසම හරහා පෙත්සමෙන් මතු කරන ලද ප්‍රධාන ගැටළු විසඳීමට පියවර ගෙන නොමැති බවයි.
විදුලි වැටවල්වල අවසර ලත් වෝල්ටීයතාවයක් නොමැතිකම ඇතුළුව නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීමේ ගැටළු තවමත් විසඳී නොමැති බවත් ඇය අධිකරණය හමුවේ සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ අලි මිනිස් ගැටලුවට විසඳුම් සෙවීම හදිසි අවශ්‍යතාවයක් බවයි.
ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමුවිය යුතු බවත් විනිසුරුවරයා පැවසුවා.
විනිසුරුවරයා අවධාරණය කළේ අලි ඇතුන් පොදු දේපලක් මෙන්ම ජාතික වස්තුවක් වශයෙන්ද හඳුනාගෙන ඇති හෙයින් ඔවුන් ආරක්ෂා කිරීමට බලධාරීන් වග බලා ගත යුතු බවයි.
ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සහ නීති විරෝධී විදුලි වැටවල් නියාමනය කිරීම සහ ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මීළඟ දින වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතයකු අධිකරණය හමුවට පැමිණ කරුණු පැහැදිලි කරන්නැයි අභියාචනාධිකරණය නියෝග කළා.





