අයතුල්ලා අලිරේසා මරුට

ඉරානයේ දෙවන ඉහළම පෙළේ නායකයෙකු මෙන්ම එරට ප්‍රබල ආගමික පූජකවරයෙකු වන අයතුල්ලා අලිරේසා අරෆි ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ටෙහෙරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
මේ අතර තවත් අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයකට ඉරාන විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු එම යානයේ සිටි නියමුවා බේරා ගැනීමට අමරිකානු සහායක කණ්ඩායම් සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉරානයේ දෙවන ඉහළම පෙළේ නායකයෙකු මෙන්ම එරට ප්‍රබල ආගමික පූජකවරයෙකු වන අයතුල්ලා අලිරේසා අරෆි ඇමරිකානු ඊශ්‍රායල හමුදා විසින් ටෙහෙරානය ඉලක්ක කර ඊයේ රාත්‍රීයේ දී එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ දැඩි මතධාරී නායකයෙකු වූ ඔහු, විශේෂයෙන්ම කාන්තා මර්දනකාරී නීති සම්පාදනය කිරීම සහ හිජාබ් විරෝධතා මර්දනය කිරීමේ දී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළ අයෙකු ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දෝෂදර්ශනයට ලක්ව සිටි අයෙක්.
අයතුල්ලා අරෆි මියයන විට ඉරාන අධ්‍යාපන සහ ආගමික කටයුතු පිළිබඳව තීරණාත්මක බලතල දැරූ අතර, ඔහු විසින් පනවන ලද දැඩි නීති හේතුවෙන් දහස් සංඛ්‍යාත ඉරාන කාන්තාවන් විවිධ පීඩාවලට ලක්වූ බවට චෝදනා පවතීනවා.

ටෙහෙරානයට එල්ල වූ මෙම මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවෙන් ඉරාන පාලනයේ ප්‍රධාන පෙළේ නායකයින් කිහිපදෙනෙකුම ඉලක්ක කර ඇති බවත්, මෙය ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවත් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් සියයට 70 ක්ම මේ වන විට විනාශ වී ඇති බවයි.

එසේම ඉරානයේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මේ අතර පසුගිය සිකුරාදා ඇමරිකානු ඒ 10 වර්ගයේ ප්‍රහාරක යානයක් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වී ඇති බව ඇමරිකානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී මෙම ප්‍රහාරය සිදුව ඇති අතර වෝට්හෝග් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම යානය තනි නියමුවෙකු සහිත ප්‍රහාරක යානයක්. යානය කඩා වැටීමට පෙර එහි නියමුවා ආරක්ෂිතව ඉවතට පැන ඇති අතර පසුව ඔහුව බේරා ගැනීමට ඇමරිකානු සහායක කණ්ඩායම් සමත් වී තිබෙනවා.

ඉරාන යුද්ධයේ දී ඇමරිකාවට අහිමි වූ දෙවන ප්‍රහාරක යානය මෙයයි.

ඉරාන-අමෙරිකානු යුද්ධයේ 36 වන දිනය වන අද දින අලුයම, බටහිර ඉරානයේ කුසෙස්තාන් පළාතේ පිහිටි අබාදාන් තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.
ටෙහෙරාන් අගනුවරට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් අනතුරුව, අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක යානා ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉරානය සහ ඇමරිකාව අතර පවතින දැඩි යුදමය උණුසුම මධ්‍යයේ ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති පැය 48 ක සටන් විරාම යෝජනාවක් ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව එරට අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන ෆාර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරනවා.

නම හෙළි නොකළ ප්‍රභවයක් උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ පසුගිය බදාදා දිනයේදී වෙනත් රටක් මැදිහත් කර ගනිමින් ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර ඉරානය තුළදී අමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටීමේ සිද්ධිය, ඉරානය සමඟ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
NBC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ, “නැහැ, කොහෙත්ම නැහැ. මෙය යුද්ධයක්. අපි දැන් ඉන්නේ යුද්ධයක,” යනුවෙන්.

යානය කඩා වැටීමෙන් පසු අතුරුදහන් වූ ගුවන් නියමුවන් සොයා දැනට ක්‍රියාත්මක වන සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරක යානා 50ක් එක්ව ටෙහෙරානය ඇතුළු ඉරානයේ උපාය මාර්ගික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවෙන් පැය කිහිපයකට පසු, ඉරානය සිය භූගත මිසයිල බංකර් යළි සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් NY Times පුවත්පත වාර්තා කරනවා.
එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් පවා ඉරානයේ බොහෝ මිසයිල දියත් කිරීමේ පද්ධතිවලට හානි සිදුව නොමැති බවත්, ඒවා ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි බුද්ධි වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සතු මෙම භූගත උමං මාර්ග සහ බංකර් පද්ධති ඕනෑම ප්‍රහාරයකින් පසු පැය 12කටත් අඩු කාලයකදී යළි විවෘත කර ප්‍රහාරක මට්ටමට සූදානම් කළ හැකි බව ඊශ්‍රායල මාධ්‍ය ද තහවුරු කරනවා.

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම අතිශය තීරණාත්මක මට්ටමක පවතින පසුබිමක, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ගුවන් අභ්‍යවකාශ බලකායේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජනරාල් සෙයියඩ් මජිඩ් මූසාවි ගේ නිල X ගිණුම අත්හිටුවීමට X සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙම තහනමට පෙර ජනරාල් මූසාවි විසින් සිය X ගිණුම හරහා ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉලක්ක කරමින් දැඩි තර්ජනාත්මක පණිවුඩ රැසක් නිකුත් කර තිබුණා.
විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ ඔහු හීබෲ භාෂාවෙන් ඊශ්‍රායල වැසියන්ට අනතුරු අඟවමින් කියා සිටියේ “ළඟදීම බරපතළ ප්‍රහාර එල්ල වන බැවින් ආරක්ෂිත බංකර් සූදානම් කරගන්නා ලෙසයි.”

මීට අමතරව, කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල සමාගම්වල සේවකයන්ට වහාම ඉවත් වන ලෙසත්, මින් ඉදිරියට ඉරානයේ ප්‍රතිපත්තිය “ඇසට ඇසක්” යන සීමාවෙන් ඔබ්බට ගිය දැඩි පියවරක් වනු ඇති බවටත් ඔහු සිය X ගිණුම හරහා අනතුරු අඟවා තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රංශ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඒ හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ නිශේධ බලය හිමි ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස ඉරානය නොසලකන බව මෙමඟින් පැහැදිලි වන බවයි විදේශ විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර පිලිපීන ධජය සහිත නෞකාවලට සහ පිලිපීන නාවිකයන්ට ද කිසිදු බාධාවකින් තොරව මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය පොරොන්දු වී තිබෙනවා.

Share