ගම්පොළ – අම්බුලුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමේ නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වැනිදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එම නිර්දේශයට එරෙහිව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුලු පිරිසක් වග උත්තරකරුවන් කරමින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.
අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවා
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට අයත් ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමේ අවදානමක් මතුව තිබෙන බවයි.
එම නිසා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් එතෙක් අදාල ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තමන්ට වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලැබී නොමැති නිසා පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව රජයේ නීතිඥවරයා පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනිදා නැවත කැඳවන ලෙසයි.
එදින තෙක් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළා
අම්බුළුවාව ජෛව විවිධත්ව සංවර්ධන කලාපය පිහිටා තිබෙන ඉඩම 2001 වසරේ එවක ජනාධිපතිනිය විසින් ප්‍රදානයක් වශයෙන් ලබාදුන් බව පෙත්සම්කරුවන් පැවසුවා.
වගඋත්තරකාර උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය මාර්තු මස 06 වැනිදා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් පෙත්සම්කාර පදනම විසින් අදාළ ඉඩමේ කොන්දේසි උල්ලංඝනය කර තිබෙන බවට කරුණු දක්වා තිබූ බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
තම භාරය වෙත රජය විසින් ලබාදී තිබෙන ඉඩමේ අනුමැතිය අවලංගු කිරීමේ අරමුණින් වග උත්තරකරුවන් ක්‍රියාකරන බවත් අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට බාධා කිරීම සම්බන්ධයෙන් ගොනු කෙරුණු පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම ව්‍යාපෘතියට බාධා නොකරන ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරියට මෑතකදී නියෝග කර තිබූ බවත් පෙත්සම්රුවන් පවසනවා.
ඒ අනුව අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමට වග උත්තරකරුවන් දරන උත්සාහය සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් සිදු කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් පෙත්සන්කරුවන් සඳහන් කරනවා.
ඒ අනුව තමන්ට ජනාධිපති විසින් ප්රදානය කර තිබෙන අදාළ ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කරන ලෙස වග උත්තරකරුවන් විසින් යොමු කර තිබෙන ලිපි බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ඒ. දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහා භාරකාරවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.





