අප්‍රිකාවේ මාලි රටේ ආරක්ෂක ඇමති සාදියෝ කමාරා මරුට

අප්‍රිකාවේ මාලි රටේ ස්ථාන කිහිපයක සිදුවන ත්‍රස්තවාදී ප්‍රහාර අතරතුරදී එරට ආරක්ෂක ඇමති සාදියෝ කමාරා මරණයට පත්වූ බව වාර්තා වනවා. බමාකෝ අගනුවරට වයඹදිගින් පිහිටි කටි නම් නගරයේ ඔහුගේ නිවසේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ. මාලි හි ජනාධිපති අසිමි ගොයිටාගේ නිවස ද පිහිටා ඇත්තේ එම ප්‍රදේශයේයි. කෙසේ වෙතත් ඔහු ආරක්ෂිතව සිටින බව දැනට වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 25 වනදා මාලි හි ස්ථාන ගණනාවකටම ප්‍රහාර මාලාවක් එල්ල වුණා. එය ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් ව​’අල් මුස්ලිමීන් සංවිධානය සහ රටේ උතුරුදිග ක්‍රියාත්මක වන ටුවාරෙග් ගෝත්‍රික අසාවද් විමුක්ති හමුදාව විසින් එක්ව දියත් කළ ප්‍රහාර මාලාවක්. රටේ උතුරුදිග පිහිටි විශාලම නගරය වන කිඩාල් හි බලය කැරලිකරුවන් අතට පත්ව ඇතැයි වාර්තා වනවා.

COVID-19 වෛද්‍ය පර්යේෂණ සොරකම් කිරීම ඇතුළු පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන්ට අවශ්‍ය කරන චීන ජාතිකයෙකු පිටුවහල් කිරීමට ඉතාලි රජය තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ෂු සෙවෙයි නම් සැකකරු ජූලි 3 වන දින මිලාන්හි දී අත්අඩංගුවට ගනු ලැබුවා. 2020 පෙබරවාරි සිට 2021 ජුනි දක්වා සිදු වූ පරිගණක මංකොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ෂු විසින් චීන රජයේ නියෝගය පරිදි COVID-19 සඳහා තීරණාත්මක පර්යේෂණ හැක් කර සොරකම් කර ඇති බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරනවා. 2020 දී COVID-19 එන්නත්, ප්‍රතිකාර සහ පරීක්ෂණ පිළිබඳ පර්යේෂණ සිදු කරන එක්සත් ජනපදය පදනම් කරගත් විශ්ව විද්‍යාල, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෛරස් විද්‍යාඥයින් ඉලක්ක කරගත් සයිබර් විශේෂඥයින් කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස ෂු කටයුතු කර ඇතැයි ද එක්සත් ජනපදය පවසනවා.

Share