අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලාගෙන ගෙදර යන්න – අධ්‍යාපන අමාත්‍යවරියට බල කරමින් විමල් වීරවංශ මහතා ඉසුරුපාය ඉදිපිට අද සත්‍යග්‍රහයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙස සහ අධ්‍යාපන අමාත්‍යවරියට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බල කරමින්, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉසුරුපාය ඉදිපිට අද සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
ඊට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ‍ය විසින් නියෝගයක් ලබාදී තිබුණ ද ඊට ගරු කරමින් සත්‍යග්‍රහයේ අඛණ්ඩව නිරත වන බව විමල් වීරවංශ මහතා පවසනවා.

විමල් වීරවංශ මහතා කැඳවුම්කරු ලෙස කටයුතු කරන “දරුවන් උදෙසා වැඩිහිටියෝ” සංවිධානය අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණේ නව අධ්‍යාපන ප්‍රතිංස්කරණවලට විරෝධය පල කරමින්.
හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීම ද ඔවුන්ගේ ඉල්ලීමක්. අමාත්‍යංශය ඉදිරිපිට සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර පිළිරුවට ද විමල් වීරවංශ මහතා පුෂෝපහාර දැක්වූවා. පිරිස එම ස්ථානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ද එහි දී සිදුකෙරෙනවා.

මාර්ගය අවහිර නොවන අයුරින් ක්‍රියාකිරීම, අවට පදිංචි පුද්ගලයන්ට සහ විභාග දෙපාර්තමේන්තුවට බාධා නොවන අයුරින් විශාල ශබ්දයක් නිකුත් නොකිරීම සහ ශබ්දය නිකුත් කිරීමේ තාක්ෂණික උපකරණ භාවිතයෙන් වැළකී සිටීම අදාළ නියෝගයේ සඳහන් බව විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළා. අදාළ සත්‍යග්‍රහය මේ වන විටත් පැවැත්වෙනවා.

Share