අද රාත්‍රී කාලයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර දිවයිනට බලපෑ දැඩි අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් ජනතාව සඳහා විවිධ පාර්ශව සියළු සහයෝගයන් දැක්වූ අතර එලෙස දෙස් විදෙස් මානුෂීය ආධාර තවදුරටත් මෙරටට ගලා එනවා.
ජපාන රජය විසින් සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී හානිවලට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මේ අතර ජර්මනිය සහ ලක්සම්බර්ග් රාජ්‍යයන්ගෙන් ලද යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බරැති ආපදා ආධාර තොගයක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
මෙම ආධාර තොගයට කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත්.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දීමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබා දෙන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වංග් දොංග්මින්ග් මහතා (WANG DONGMING) පැවසුවා.
මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති වංග් දොංග්මින්ග් මහතා ඇතුළු නියෝජිත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළා.
මේ අතර පසුගියදා ඇතිවූ සුළි කුණාටුව පිළිබඳව වගකිව යුතු පාර්ශවයන්ට ලබාදුන් පූර්ව තොරතුරු පිළිබඳ දැනගැනීම සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජතයින් පිරිසක් අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.





