අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත් නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන මිලිමීටර් 75 ට වැඩි තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පුරෝකතනය කරනවා.
ඊට අමතරව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාතවගෙන් ඉල්ලා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දෛනික තත්ත්ව වාර්තා නිවේදනයට අනුව මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිට්වා හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට එල්ල වූ බලපෑම සුලුපටු නැහැ.
එය යථාවත් කිරීම සඳහා රජය විවිධ යෝජනා ඉදිරිපත් කළද ඒවා රට පුරා ක්‍රියාත්මක කිරීම තවදුරටත් දුෂ්කර වී තිබෙනවා.
කලාවැව පිටාර ගැලීම නිසා මහවැලි එච් කලාපයේ, ගල්නෑව, අවුකන හා නෙල්ලියගම ආදී ප්‍රදේශ රැසක වගා බිම් රැසක් ජලයෙන් යටවුණා. ගොවීන් ඉල්ලා සිටින්නේ වැලි ඉවත් කිරීමට යම් කාලයක් ගතවන හෙයින් ගොවිතැන් කටයුතු පමාවීම හමුවේ තමන්ට යම් සහනයක් ලබාදෙන ලෙසයි.

දිවයිනට බලපෑ දැඩි අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත් ජනතාව සඳහා විවිධ පාර්ශව සියළු සහයෝගයන් දැක්වූ අතර එලෙස ‍දෙස් විදෙස් මානුෂීය ආධාර තවදුරටත් මෙටට ගලා එනවා.
ඒ අනුව ජපාන රජය විසින් සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී හානිවලට ප්‍රතිචාර වශයෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හදිසි ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
මෙම හදිසි ප්‍රදානය, ආහාර සහ ආහාර නොවන ද්‍රව්‍ය වැනි ක්ෂේත්‍ර මානුෂීය ආධාරවලින් සමන්විතයි.
මෙම ආපදා අවස්ථාවේ දී සහන සේවා, මානූෂිය ආධාරවලින් මෙන්ම වෛද්‍යාධාර පවා සපයමින් ජපානය දැක්වූ සහයෝගය කැපී පෙනුනා.

මේ අතර ජර්මනිය සහ ලක්සම්බර්ග් රාජ්‍යයන්ගෙන් ලද යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බරැති ආපදා ආධාර තොගයක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
මෙම ආධාර තොගයට කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත්.
මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර පැවති වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නාය යාමේ රතු නිවේදන ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යෝෂණ සංවිධානය පවසනවා.

Share