අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඇමෙරිකානු සමාගමමකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නම් අමෙරිකානු ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පවසමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.
අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ,මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මුලික කරුණු සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.
එහිදී වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඤාණරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අදාළව පෙත්සම්කාර පාර්ශ්වය විසින් මීට පෙර කොළඹ සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණවලට මේ සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිලි ඉදිරිපත් කළත් ඒවා එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවයි.
ඊට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව නීතිඥයා පෙන්වා දුන්නා.
වග උත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බවත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුකරය හරහා බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය නිෂ්ප්‍රභ කරන බව තීන්දු කළා.

Share