මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් ලෙස ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38000ක් රැගත් ඉන්ධන නෞකාවක් අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වුණා.
මේ අතර මැදපෙරදිග අර්බුදය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ඉහළ යාමේ අවදානමේ වැඩිම බලපෑමක් එල්ලවන රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව ජර්මනියේ කේල් විශ්ව විද්‍යාලයට අනුබද්ධි කේල් අධ්‍යයන ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය අඩාල වීම ගෝලීය ආර්ථිකයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.
මාසයක පමණ කාලයක් පවතින මැද පෙරදිග යුදමය වාතාවරණය හමුවේ ආර්ථිකමය වශයෙන් එල්ලවූ බලපෑම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවටද එල්ලවෙමින් පවතිනවා.
මෙම අර්බුදය හමුවේ භාණ්ඩ මිල ඉහළ යාමෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජර්මනියේ කේල් විශ්ව විද්‍යාලයට අනුබද්ධි කේල් අධ්‍යයන ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
මේ හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමට අමතරව ස්මාර්ට්ෆෝන්, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවයි කේල් අධ්‍යයන ආයතන වාර්තාව පෙන්වා දෙන්නේ.
එම වාර්තාවට අනුව වැඩිම බලපෑම් එල්ල වන්නේ සැම්බියාවට වන අතර එරට ආහාර මිල 30.7% කින් ඉහළ යා හැකි බවට පුරෝකතනය කර තිබෙනවා.
දෙවනුවට වැඩිම බලපෑම එල්ල වන්නේ ශ්‍රී ලංකාවට වන අතර මේ නිසා ආහාර මිල 15.3 %කින් ඉහළ යා හැකි බවයි එම වාර්තාව පුරෝකථනය කර ඇත්තේ.
ඊට අමතරව පිළිවෙලින් තායිවානය 12.5%ක්, පාකිස්තානය 11.4%ක් සහ ඉන්දියාව 10.7% කින් ඉහළ යා හැකි බවට ද කේල් අධ්‍යයන ආයතන වාර්තාව පුරෝකතනය කරනවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පසුගියදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණියා.
මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් ලෙසයි මෙම ඉන්ධන තොගය රැගත් නෞකාව මෙරටට හිමිව ඇත්තේ.
මේ අතර ඉන්ධන එක්රැස් කර අධික මිලගණන්වලට අලෙවි කිරීමට සූදානම් කරන පිරිස් සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනවා.
වරකාපොල, මාහේන ප්‍රදේශයේදී ඩීසල් ලීටර් 1020 ක් සන්තකයේ තබාගෙන සිටි 46 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කටයුතු කළා.
ලොරි රථයක පිටුපස ටැංකියක් ලෙස සකසා ඩීසල් නිකුත් කරන ලීටර් ප්‍රමාණය සටහන්වන ආකාරයේ මීටරයක්ද සවි කරගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.





