පානදුර අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සදුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයකු ඝාතනය කර වළ දමා තිබියදී හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ දී අද ගොඩ ගැණුනා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්ණ කිරීමේ දී හෙළි කරගත් තොරතුරු මත මෙලෙස දේහය ගොඩ ගනු ලැබූවේ ඔහු ඝාතනය කර වසර එකහමාරකට පසුවයි.
විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකවෙකු වූ කුඩු සළිඳු තම නිවසේ සිදු වූ සොරකමකට සම්බන්ධ සොරුන් පිරිසක් සොයා දෙන ලෙස පවසා ඇත්තේ මෙරට සිට ඔහුගේ ගෝලයෙකු වූ නිලංඟ නමැත්තාටයි.
ඒ අනුව ඔහු පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් පහර දෙමින් තොරතුරු විමසා ඇති අතර එහිදී පහර කෑමට ලක් වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
2021 වසරේ ජුලි 11 වැනිදා මෙම ඝාතනය සිදුව ඇත්තේ පානදුර පිංවල සුසාන භූමියේ දී.
එහිදී පහර කෑමට ලක් වූ අනෙක් පුද්ගලයා වූ සඳුන් උදාර අල්විස් නමැත්තා තමන් දන්නා තොරතුරු නිළංඟට පවසා දිවි බේරා ගෙන තිබෙනවා.
පසුව එම ඝාතනය පිළිබඳ කිසිවෙකුට නොපවසන ලෙස පවසා ඇති නිළංඟ ඝාතනය ඇසින් දුටු සඳුන් උදාර අල්විස් නොහොත් හාවා යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාට මාසිකව කිසියම් මුදලක් ගෙවා ඇතැයි ද සඳහන්.
කෙසේ වෙතත් පසුව නිළංඟ නමැත්තා විදෙස්ගත වී ඇති අතර අනතුරුව ඔහු හාවා නමැත්තාට මෙතෙක් ලබාදුන් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබනවා.
ඒ සම්බන්ධයෙන් කෝප වූ සඳුන් උදාර දුරකතනයෙන් මුදල් ඉල්ලා නිළංඟට තර්ජනය කර ඇති අතර එහි ප්‍රථිඵලය වූයේ 31 හැවිරිදි විවාහකයෙකු වූ සඳුන් උදාර 2024-08-03 වැනිදා සිට අතුරුදන් වීමයි.
තම සැමියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ වන චතුරි ලක්ෂාණි විසින් එදිනම හිරණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කලත් ඔහු පිළිබද තොරතුරක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.
ඉන්පසු ඔහුගේ බිරිඳ හා පියා විසින් පොලිස්පතිවරයාට යොමු කළ පැමිණිල්ලක් අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට එහි විමර්ශණ කටයුතු පැවරුණා.
ඒ අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙය පැහැරගැනීමක් නොව ඝාතනයක් බවත් සඳුන් උදාරගේ සිරුර තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා ඇති බවත් විමර්ශකයින් සොයා ගත්තා.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණ වූයේ ඇඹිලිපිටිය හා පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී.
සැකරුවන් පොලීසියට පවසා ඇත්තේ ඝාතන නඩුවේ සාක්ෂි විනාශ කිරීම සදහා කුලී ගමනක් යන මුවාවෙන් මොහුව පැහැරගෙන ගොස් අක්කර 99 නැමැති කැලෑබද ප්‍රදේශයක දී සඳුන් ඝාතනය කළ බවයි.
ඒ අනුව ඝාතනය කර වළ දමා වසර එකහමාරකට පසුව එම සිරුර ගොඩ ගැනීමේ කටයුතු හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ දී අද සිදු කෙරුණා.
එම කටයුතු සිදු කෙරුණේ හොරණ මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැළුම් වඩුගේ මහතා ඉදිරියේ යි
එම ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.





