වසර ගණනාවක දේශපාලන කැලඹීම්වලින් පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක පරීක්ෂණයක් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා බංග්ලාදේශ ජනතාව අද ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළා
මිලියන 127 කට අධික ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, රට පුරා දස දහස් ගණනක ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව දැඩි කර තිබෙනවා.
පෙරවරු 7.30 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.30 දක්වා සිදු කෙරෙනවා.
ඡන්ද විමසීම අවසන් වූ වහාම ගණන් කිරීම ආරම්භ වන අතර, සිකුරාදා උදෑසන වන විට ප්‍රතිඵල පැහැදිලි වනු ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කළා.
මිලියන 128 කට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඔවුන්ගෙන් 49% ක් කාන්තාවන් වනවා.
නමුත් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ අපේක්ෂිකාවන් 83 දෙනෙක් පමණයි.
මැතිවරණ දිනයේදී, නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන් 100,000 කට වැඩි පිරිසක් පොලිසිය 200,000 කට ආසන්න පිරිසකට සහාය වනු ඇති.
සති කිහිපයක මහජන විරෝධතාවලින් 2024 දී හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.
හසීනා රටින් පලා ගිය අතර ඇගේ පක්ෂය මෙවර ඡන්ද විමසීමේ දී තහනම් කර තිබෙනවා.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ තාරික් රහ්මාන් ඊළඟ රජය පිහිටුවීම සඳහා ප්‍රමුඛ තරඟකරුවෙක්.
ඔහු හිටපු අගමැතිනි කලීඩා සියාගේ පුත්‍රයා වන අතර රටින් පලාගොස් ලන්ඩනයේ වසර 17 ක් ජීවත්ව සිටීමෙන් පසු දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට ආපසු පැමිණියා.
BNP ට අභියෝග කරන්නේ රටේ විශාලතම ඉස්ලාමීය පක්ෂය වන ජමාත්-ඊ-ඉස්ලාමි විසින් මෙහෙයවනු ලබන පක්ෂ 11 ක සන්ධානයක්.
විපක්ෂ වර්ජනයන් සහ බිය ගැන්වීම්වලින් විනාශ වූ පෙර මැතිවරණ මෙන් නොව, බොහෝ ස්වාධීන අපේක්ෂකයින් ඇතුළුව අපේක්ෂකයින් 2,000 කට අධික පිරිසක් මැතිවරණ සදහා ඉදිරිපත්ව සිටින අතර තරග කරන පක්ෂ ගණන 50ක්.
නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන පරිපාලනයක් විසින් මැතිවරණය අධීක්ෂණය කරනු ලබන අතර, ඔවුන් සාධාරණ ඡන්දයක් සහතික කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා.
බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 350 කින් සමන්විතයි.
මේ අතර මැතිවරණයට තරඟ කිරීම තහනම් කර ඇති බංග්ලාදේශයේ පැරණිතම දේශපාලන පක්ෂය, රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් පවතින බව දකින අතර, මැතිවරණය විශ්වාසදායක නොවන බව පවසමින් ඡන්ද වර්ජනය කරන ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.
බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත්‍රයා සහ අවාමි ලීගයේ ඉහළ නිලධාරියෙකු වන සජීබ් වාසෙඩ් පැවසුවේ බ්‍රහස්පතින්දා මැතිවරණයෙන් රටේ අස්ථාවරත්වය විසඳෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.
ප්‍රතිඵලය “සෑම විටම ප්‍රශ්නකාරී වනු ඇති බව බ්ලූම්බර්ග් සමග දුරකතන සම්මුඛ සාකච්ඡාකට එක්වෙමින් හසීනාගේ පුත්‍රයා පවසා තිබෙනවා.





