හඳට ලංවන ආර්ටිමෙස්

වසර 54ට පසු ගගනගාමීන් සිව්දෙනෙකු සහිතව ගමන් ආරම්භ කළ Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසනවා.
මේ අතර, සූර්ය පැනල මත සවිකර ඇති බාහිර කැමරාවල සිට කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරකම් සටහන් කරන අභ්‍යන්තර කුටියේ දර්ශන දක්වා විහිදෙන ලෙස ඔරායන් අභ්‍යවකාශ යානයේ සෑම කෝණයකින්ම කැමරා 24ක් සවිකර එම කමරා වල සජීවී දර්ශන භාගත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
මේ අතර Artemis II මෙහෙයුම යටතේ, මිනිසුන් සහිත යානාවකින් ගමන් කරමින් ලබාගත් සඳේ සමීප ඡායාරූප පෙලක් ද ඊයේ නාසා ආයතනය විසින් නිල වශයෙන් නිකුත් කළා.

1972 වසරේ දී ඇපලෝ දහතුන යානාව විසින් පිහිටුවන ලද වාර්තාවක් බිඳ හෙළීමට සැරසෙන ඔරායන් ‍යානාව මේ වන විට සඳේ කක්ෂය ආසන්නයට ගමන් කර ඇති බව නාසා ආයතනය පවසනවා.
ඒ අනුව Artemis II මෙහෙයුම මේ වනවිට සඳ ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථක කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ආටෙමිස් II මෙහෙයුම සඳහා, ඔරායන් අභ්‍යවකාශ යානයේ සෑම කෝණයකින්ම මෙහෙයුම සටහන් කර ගැනීමට සැලසුම් කළ කැමරා 24ක් රැගෙන යන බව නාසා ආයතනය සඳහන් කරනවා.
එහිදී සූර්ය පැනල මත සවිකර ඇති බාහිර කැමරාවල සිට කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරකම් සටහන් කරන අභ්‍යන්තර කුටියේ දර්ශන දක්වා විහිදෙන මෙම රූපගත කිරීමේ පද්ධති මගින් යානය දියත් කිරීම, සූර්ය පැනල දිග හැරීම සහ සඳ වටා අභ්‍යවකාශ යානයේ දුරස්ථ ගමන වැනි වැදගත් අවස්ථාවන් පටිගත කිරීමට අපේක්ෂිතයි.
මීට අමතරව Nikon Z9 වර්ගයේ කැමරා මඟින් අභ්‍යවකාශ යානයේ කවුළු හරහා අති සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවත් ගගනගාමින්ට හිමිවනවා.
මේ අතර, ආටෙමිස් II කාර්ය මණ්ඩලය සඳ වෙත ගමන් කරන අතරතුර ලබාගත් පෘථිවියේ පළමු සුපැහැදිලි ඡායාරූපය නාසා ආයතනය මේ වන විට නිකුත් කර තිබෙනවා.
එහි ඡායාරුප ලබාගෙන ඇත්තේ මෙහෙයුමේ අණදෙන නිලධාරී රේඩ් වයිස්මන් විසින්.
මෙම ඡායාරූපය හඳුන්වා ඇත්තේ ”HELLO WORLD” ලෙසයි.
පෘථිවිය අඳුරෙන් සහ ආලෝකයෙන් වෙන්ව ඇති අයුරු මනාව දිස්වන අපූරු සේයාරුවක් ද වයිස්මන්ගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා.
මෙම ඡායාරූප දෙකම රේඩ් වයිස්මන් විසින් ලබාගෙන ඇත්තේ මිනිත්තු කිහිපයක පරතරයකින් වන අතර එම ඡායාරුප අතර පවතින දැඩි වෙනසට හේතුව කැමරාවේ සැකසුම් වල වෙනස්වීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යානාව සඳ දෙසට තවදුරටත් ළං වෙද්දී ඔවුනට දැන් සඳේ සුන්දරත්වය තවත් පැහැදිලිව දිස්වන්නට පටන්ගෙන ඇති බවයි ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් පවසන්නේ.
“ඒ දසුන දැකලා අපි හැමෝටම එකවරම ලොකු සතුටක් දැනුණා… මේ මොහොතේ ඩොකින් හැච් එක හරහා අපිට සඳ ඉතාම පැහැදිලිව පේනවා. ඒක හරිම සුන්දර දසුනක්,” ඇය පාලන මැදිරියට පවසා තිබුණා.
මේ වන විට ගගනගාමීන් සිය නින්ද සඳහා සූදානම් වෙමින් සිටින අතර, අද පස්වරුවේදී පාලන මැදිරිය විසින් ඔවුන්ව අවදි කර මෙහෙයුමේ සිව්වන දිනය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

Share