සෞඛ්‍ය හේතු මත අද CID නොඑන බව මෛත්‍රී වික්‍රමසිංහගෙන් දැනුම්දීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වා තිබෙනවා.
මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට ඇය අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය හේතූන් මත මෙලෙස නොපැමිණෙන බවටයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හිටපු ජනපති භාර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබුනේ ඊට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන සමයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.
නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට ද එම නිවේදනයේන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා
මේ අතර මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 18 වනදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයටත් දැනුම් දී තිබුනා.

Share