සුළි කුණාටුවේ බලපෑමෙන් රෝහල් 410කට බලපෑම්

මේ අතර සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් පවසනවා.
ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටයි.
එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට ද බලපෑම් එල්ලව තිබෙනවා.
මෙම රෝහල්වලට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණවලට ද හානි සිදුවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර හලාවත මහා රෝහලේ සහ ජපන් ජංගම රෝහලේ නිරීක්ෂණයට සොඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස මහතා අද පෙරවරුවේ එක් වුණා.

මේ අතර පසුගියදා නායාමට ලක් වූ උඩත්තව නෙළුම් මල ගම්මානයේ නිරීක්‍ෂණය සඳහා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අද එක් වුණා.
පසුව ඔහු ඉන්දියානු යුද හමුදාව විසින් පවත්වාගෙන යන ජංගම යුද හමුදා රෝහල ද පරීක්ෂාවට එක් වුණා.

මේ අතර පැවැති ආපදා හේතුවෙන් අනුරාධපුර කලාප කාර්යාලයේ අත්‍යවශ්‍ය පොත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව ලංකා ගුරු සංයමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ නිලධාරීන්ගෙන් නොසැලකිල්ලෙන් මෙම බොහෝ හානි සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය දිනවල බලපා තිබූ අයහපත් කාලගුණය සමග වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විනාශ වී තිබූ කුඹුරු ඉඩම් අක්කර සියක් පමණ යලි වගා කිරීම් කටයුතු ප්‍රදේශයේ ගොවීන් විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර අම්පාර උහන ආඳල්ඔය පිටාර ගැලීම හේතුවෙන් උහන සේනාගම දකුණ කොටසේ අක්කර 500 පමණ වැලි පිරි විනාශ වී තිබෙනවා.
මේ වන විට සේනාගම හානියට පත් කුඹුරු නැවැත අස්වැද්දිම සදහා ආඳල් ඹය ඇල මාර්ගයේ අවහිර වී තිබු ස්තාන පුළුල් කිරිම ආරම්භ කර තිබෙනවා.

මේ අතර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස කීපයක් නාය ගොස් තවත් ස්ථාන කිහිපයක් ඉරි තැලි තිබෙන නිසා ජනතාව තවදුරටත් පීඩනයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රදේශයේ ජනතාව දෙමළ විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්තානයේ රැඳී සිටින අතර ජනතාව පවසන්නේ තම නිවාස කඩිනමින් සකස් කර දෙන ලෙසයි.

මේ අතර කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම සදහා කලාකරුවන් පිරිසක් කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත අද පැමිණියා.

Share