සුරේෂ් සලේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගෙන් දින 90ක කාලයක් රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය 25 වැනිදා පෙරවරුවේ පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

1987 මාර්තු 16 වැනිදා ශ්‍රී ලංකා යුද්ධ සේවයට එක්ව ඇති මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා 2019 දෙසැම්බර් සිට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ දී සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඇතුලු ස්ථාන 08කදී කළ මරාගෙන මැරෙන ප්‍රහාර 10කදී පුද්ගලයින් 273 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරමින් අසාද් මවුලානා නැමැත්තා චැනල් ෆෝ නාලිකාවට ලබාදුන් ප්‍රකාශයක අන්තර්ගත වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම විමර්ශනයක් ආරම්භ කළා.

ප්‍රහාරය එල්ල කළ අන්තවාදී සංවිධානයේ සාමාජිකයන් බව පැවසෙන සහරාන් හෂිම් සහ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ සුරේෂ් ස⁣ලේ අතර පැවති සබඳතා පිළිබඳව චැනල් ⁣ෆෝ වාර්තා වැඩසටහනේ අන්තර්ගත වුණා.

පසුගිය බදාදා පැලියගොඩදී සුරේෂ් සලේ අත්අඩංගුවට ගනු ලැබුවේ එවන් පසුබිමකයි.

අවස්ථා දෙකක දී පැය 72 බැගින් රැඳවුම් නියෝග ලබා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් ස⁣ලේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබී තිබුණේ ඊයේ දිනයේදී.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත් අඩංගුවට ගැනිම සහ රඳවා තබා ගැනිම සම්බන්ධයෙන් දේශපාල පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම ආගමික නායකයින්ද විවිධ අදහස් පලකළා.

Share