හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
පුද්ගලයින් 250කට අධික පිරිසකට මරු කැඳවමින් තවත් 700කට අධික තුවාල ලැබූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදායි.
මෙරට ප්‍රධාන පෙලේ කතෝලික දේවස්ථාන සහ තරු පංතියේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගිනිමින් සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළා.
මෙම ප්‍රහාරයට අලලා හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේදී දැඩි අවදානයට ලක්වුණේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශය කළ වාර්තා වැඩසටහනක් හේතුවෙන්.
මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන ඇත්තේ ජිවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානායි.
මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබුණා.
එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා එම වැඩසටහනේ දී හෙලි කරනවා.
කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී සුරේෂ් සලේ විසින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර එම වැඩසටහනේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කළා.
පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එවන් පසුබිමකයි.
අද උදෑසන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී අද අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇතැයි ද සඳහන්.





