සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 131 වැනි අදියර අද දිඹුලාගලදී

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරන දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහන වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 131 වැනි අදියර අද පැවැත්වෙනවා. වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.

පුරා වසර 44 ක් සම්බුද්ධ ශාසනයටත් සමාජයටත් මහඟු මෙහෙවරක් කළ දිඹුලාගල රාහුලාලංකාර නායක ස්වාමීන් වහන්සේ ගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ සිට පිංකම් මාලාවක් දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සංවිධානය කර තිබුණා.

ඒ යටතේ ප්‍රජා සත්කාරක වැසටහන් කිහිපයක් අද දිනයේත් සංවිධානය කර ඇති අතර ඊයේ පටන් ගැනුණු මෙම පින්කම් මාලාව අවසන් වන්නේ අද දිනයේයි

මේ යටතේ අපේ රටේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් දියත් කෙරෙන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 131 වැනි අදියර ද අද ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා

වයස අවුරුදු 55ට වැඩි, අඩු ආදයම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුවතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා

මේ සදහා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ,සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ සමුහ අධ්‍යක්ෂ කංචන කොඩිතුවක්කු මහතා ,දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති නිව් රත්න ව්‍යාපාරයේ අධිපති,මිත්‍රපාල ලංකේෂ්වර මහතා , නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් ජනක පල්ලෙකුඹුර මහතා ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.

මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා පැවැත්වෙන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කෙරෙන්නේ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ නාලිකා විසින්.

හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහි සියලුම සේවා සම්පාදන කටයුතු සිදු කරන අතර අත්දැකීම් සහිත වෛද්‍ය මණ්ඩලයක් හා සහායක කාර්ය මණ්ඩලයක් හරහා එම සේවාවන් ක්‍රියත්මක වනවා.

මෙම දැවැන්ත සමාජ සත්කාරය සඳහා විශාල ශක්තියක් සපයමින් නැගෙනහිර පළාත් ආරක්ෂක සේනා ආඥාපති කාර්යාලයේ සාමාජිකයින් ද සිය දායකත්වය ලබාදුන්නේ සිය රාජකාරී කඳවුරු සීමාවේ ජීවත් වන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සහය වෙමින්.

නොමිලේ සිදු කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම, දෘශ්‍ය ඌනතා සහිත පුද්ගලයන්ට උපැස්‍ යුවල ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාත්මකයි.

Share