සීෂෙල්ස් මුහුදු සීමා උල්ලංගනය කළ බහුදින යාත්‍රාවක් ගිනි තබා විනාශ කෙරේ

සීෂෙල්ස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂකයින් විසින් ශ්‍රී ලාංකික බහු දින ධීවර යාත්‍රාවක් ගිනි තබා විනාශ කර තිබෙනවා.
ධීවර අමාත්‍යංශය පැවසුවේ එහි සිටි ධීවරයින් හයදෙනෙක් එරට අත්අඩංගුවේ පසුවන බවයි.
අදාළ ශ්‍රී ලාංකික ධීවරයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදුකරන බව අමාත්‍යංශය පැවසුවා.

“ඉෂානි 01” නම් බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු ද සමඟ වෙන්නප්පුව – වෙල්ලමංකරය වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් 7 වැනිදායි.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා සීෂෙල්ස් වෙරළ ආරක්ෂකයින් විසින් බහුදින යාත්‍රාව සිය භාරයට ගෙන ඇත්තේ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යි.
අනතුරුව අදාළ බහුදින ධීවර යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂකයින් විසින් මුහුදේදීම ගිනි තබා විනාශ කර ඇති බව සඳහන්.
යාත්‍රාවේ හිමිකරු වන සුසිල් ප්‍රනාන්දු පවසන්නේ මේ හේතුවෙන් ඔහුට සිදු වූ අලාභය රුපියල් කෝටි 4ක් පමණ වන බවයි.

කෙසේ වෙතත්, මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා යාත්‍රාවන්ට නීතිමය කටයුතු කිරීම පසෙකලා මේ ආකාරයෙන් ගිනි තබා විනාශ කිරීමේ සිදුවීමක් මීට පෙර වාර්තා වී නැතැයි බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

ටී වී සුප්‍රීම් නිව්ස් මේ සම්බන්ධයෙන් කළ විමසීම කදී ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් ධීවරයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බවයි.

Share