සීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල යළි පහළ බසි

යුරෝපයට ශීත ඍතුව පැමිණීම සහ රුසියානු තෙල් මත පැනවූ සම්බාධක හේතුවෙන් පසුගිය සති දෙකක කාලය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල යළි පහළ ගොස් තිබෙනවා.
ට්‍රම්ප්ගේ සාම සැලැස්මට සෙලෙන්ස්කි එකඟ වීම ඊට හේතුව බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

රුසියාවට පනවා ඇති සම්බාධක සහ රුසියානු ඉන්ධන ප්‍රවාහනය කරන යාත්‍රා 117ක් ඉලක්ක කරගත් සීමාවන් හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල තියුනු ලෙස ඉහළ ගියා.
යුක්රේන ඩ්‍රෝන යානා එහි පිරිපහදු මධ්‍යස්ථාන 17කට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ඉන්ධන අපනයනය සීමා කිරීමට රුසියාව ගත් තීරණය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වුණා.
යුරෝපයේ ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ මිල පීඩනය තවදුරටත් වැඩි වී තිබෙනවා.
රුසියාව සෘජුවම ඉලක්ක කරගත් සම්බාධකවලට අමතරව, චීනය ඇතුළු රුසියානු ඉන්ධන ආනයනය කරන රටවලට ද බලපාන යුරෝපීය සංගමයේ 19 වැනි සම්බාධක පැකේජය ද මිල ඉහළ යාමට දායක වී ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
මේ අතර සම්බාධක පනවා තිබියදී රුසියාවෙන් ඉන්ධන රැගෙන GPS සේවා අක්‍රිය කරමින් ගමන් කළ නෞකාවන් 117කට යුරෝපා සංගමය දැඩි අනතුරු ඇඟවීම් ද නිකුත් කළා.
රුසියාවෙන් ඉන්ධන රැගෙන එන අතරමඟදී ආනයනික රට වෙනස් කරමින් ඉන්ධන ප්‍රවාහනය කරන එම නෞකාවන්ට යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත්තේ රුසියානු ඉන්ධන ප්‍රවාහනය කළ හොත් යුරෝපා රටවලට ඇතුළු වීමට අවසර නොදෙන බව දන්වමින්.
එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම යාත්‍රා බොහොමයක් එවැනි මෙහෙයුම් නවතා දමා ඇති අතර, එමඟින් ගෝලීය නැව්ගත කිරීමේ ධාරිතාව ද අඩු වී තිබෙනවා.
මෙම ආනයන අභියෝග හේතුවෙන්, පසුගිය ජුනි මාසයේ සිට මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පැවතුණේ මෙම මාසය අවසන් වන විට තෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමේ අවදනාමක් ද සමගින්.
කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කල රුසියානු – යුක්රේන සාම සැලැස්ම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි එකඟ වීමත් සමග සිකුරාදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 1කින් පමණ පහළ ගියා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සත 82කින් හෙවත් සියයට 1.3කින් පහළ ගොස් ඩොලර් 62.56ක් ලෙස ස්ථාවර වුණා.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.06 දක්වා සත 94කින් හෙවත් 1.6% කින් පහත වැටී තිබෙනවා.
ඔක්තෝබර් 21න් පසුව බ්‍රෙන්ට් සහ WTI බොරතෙල් සඳහා වාර්තා වූ අඩුම මිල මෙයයි.
රුසියානු තෙල් නිෂ්පාදකයින් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් මත සම්බාධක සිකුරාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් සාම ගිවිසුමක් ඇති වුවහොත් රුසියානු ඉන්ධන සඳහා ඇති අවදානම අවම වීම වෙළෙඳපොළ මිල පහළ යෑමට හේතු වුණා.
එක්සත් ජනපද ෆෙඩරල් බලශක්ති දත්ත වලට අනුව, 2024 දී එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් නිෂ්පාදකයා රුසියාවයි.
සම්බාධකවල බලපෑම රඳා පවතින්නේ රුසියානු තෙල්වල ප්‍රධාන ගැනුම්කරුවන් වන චීනයේ සහ ඉන්දියාවේ බැංකු සහ සමාගම්වල ප්‍රතිචාරය මත වන අතර එය සියලුම විකුණුම් වලින් 85% ක් පමණ වනවා.
මේ අතර ඉන්දියාවේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්, නොවැම්බර් 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ජම්නගර් හි පිහිටි එහි පිරිපහදු සංකීර්ණයට රුසියානු බොරතෙල් ආනයනය කිරීම නවතා දමා ඇතැයි එහි ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළා.
රුසියානු ප්‍රධාන සමාගමක් වන රොස්නෙෆ්ට් වෙතින් දිනකට බොරතෙල් බැරල් 500,000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීමට දිගුකාලීන ගිවිසුමක් ඇති ඉන්දියානු සමූහ ව්‍යාපාරය, වත්මන් තෙල් සැපයුම්කරුවන් සමඟ සබඳතා පවත්වා ගනිමින් මොස්කව්ට එරෙහි සම්බාධකවලට අවනත වන බව පවසනවා.
දෙසැම්බර් 1 වනදා සිට පිරිපහදුවෙන් අපනයනය කරන සියලුම නිෂ්පාදන රුසියානු නොවන බොරතෙල් වලින් ලබා ගන්නා බව රිලයන්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

Share