සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් පාසල් ශිෂ්‍යාවකට අසාධාරණයක්

මෙරට ජනප්‍රියම බාලිකා විද්‍යාලයක් වන කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවයේදී අසාධාරණයක් වූ බව පවසමින් පාසල් ශිෂ්‍යාවක් කළ කතාව මේ වන විට සමාජයේ මහත් කතාබහට ලක්ව තිබෙනවා.
එහි දී ඇය චෝදනා කරන්නේ එහි පුහුණුවීම් සඳහා නොපැමිණිම පාදක කරගනිමින් තමන්ට ලැබිය යුතු කුසලානය වෙනත් ක්‍රීඩිකාවකට ලබා දීමට විද්‍යාලයේ විදුහල්පතිනිය කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් මෙම සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සමස්ත පාසල් ප්‍රජාව මැයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක දැක්වෙනවා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂවල වර්ණ ප්‍රධාන උළෙල පසුගිය සිකුරාදා උත්සවාකාරයෙන් පැවැත්වුණා.
පාසල් වර්ණ ප්‍රධානෝත්සවය මෙවර පැවැත්වී ඇත්තේ වසර හතකට පසුවයි.
එම වර්ණ ප්‍රධානෝත්සවයේදී ස්කෝෂ් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ සම්මානයක් හිමිකරගත් චනිත්මා සිනෙලි ක්‍රීඩිකාව ප්‍රධාන වේදිකාව මත දී කළ විදුහල්පතිනියට කළ චෝදනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වුණා.
ඇය එහිදී චෝදනා කළේ පාසලේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ඇයට ලබා නොදී වෙනත් ක්‍රීඩිකාවකට ලබා දීමට විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය ක්‍රියාකර ඇති බවයි.
ඒ අනුව තමන්ට හිමි විශේෂ සම්මානය ද භාර නොගන්නා ඇය ආරාධිත අමුත්තාට පමණක් ආචාර කොට වේදිකාවෙන් බැස යනවා.
එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ටීවී සුප්‍රීම් නිවුස් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් කරුණු විමසුව ද ඇය ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරීම ප්‍රතික්ෂේප කළා.
ඇය පැවසුවේ අධ්‍යාපන බලධාරීන්ගේ අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත් අවශ්‍ය අයගේ දැනගැනීම පිණිසයි මැයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සමස්ත පාසල් ප්‍රජාව යන අත්සනින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක දැක්වුණේ ත්සව අවස්ථාවේදී සජීවීව ගැටලුකාරී පරිසරයක් නිර්මාණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
එමගින් පාසලේ කීර්ති නාමයට ඉමහත් හානියක් සිදුව ඇති බවද අදාළ සටහනේ දැක්වෙනවා.

Share