දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලිය ලෙසින් ශ්‍රාවක මනසේ නොමැකෙන මතක සටහන් තැබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අදට සියවසක් සපිරෙනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලිය මෙරට විදත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියායි.
සියවසක් පුරා ඇසුණු හඬ ගැන ටීවී සුප්‍රීම් නිවුස් තබන සටහනක් මේ.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ වන්නේ 1925 වසරේ අදවැනි දිනකයි.
ඒ දකුණු ආසියාතික රටක ගුවන් විදුලි විකාශයක් ඇරඹු ප්‍රථම රාජ්‍යවීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.
1927 වසරේ කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේ ගොඩනැගිල්ලක ආරම්භ වූ කොළඹ ගුවන් විදුලිය පසුව ලංකා ගුවන් විදුලිය බවට පත් වී 1967 ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාව බවට පත්වුණා.
මුල්ම ගුවන් විදුලි නිවේදකයා ලෙස 1938 වසරේ පත්වීම් ලැබූ ඩී.එම්. කොළඹගේ මහතා විසින් කොළඹ සිට කතා කරන්නේ මම මේ කොළඹ ගුවන් විදුලි සේවයයි යනුවෙන් ගුවනට මුසු කළ හඩ ශ්‍රී ලාංකේය ශ්‍රවක ජනතාව තුළ සදා නිධන් ගතව පවතිනවා.
1950 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ප්‍රථම නිවේදිකාව ලෙස ප්‍රභා රණතුංග මහත්මිය සේවයට එක්වුණා.
නොනවතින මාධ්‍ය මෙහෙවරේ සුවිශේෂි කඩඉමක් ලෙස අද දින සිය අභිමානවත් ශත සංවත්සරය සමරන ශ්‍රී ලංකා ගුවන් විදුලිය එම අභිමානය නම් කර ඇත්තේ සියවසක් ඇසූ එකම හඩ යනුවෙන්.
මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දේශීය වශයෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක් සහ ඉංග්‍රීසි සේවයක් ප්‍රචාරය කරනවා.
ප්‍රචාරය කරන විදේශීය සේවා ගණන පහක්.
රජරට රුහුණ, කඳුරට, වයඹ හඬ, යාපනය, ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්.එම්. සංස්ථාව සතු ප්‍රාදේශීය සේවා වනවා.
දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකයි.
ආසියාවේ ප්‍රධානතම ගී තැටි පුස්තකාලය ජාතික ගුවන්විදුලිය සතුව ඇති අතර ඉන්දියාවේ ද සොයාගත නොහැකි ඉතාමත් දුර්ලභ හින්දි ගී තැටි ජාතික ගුවන්විදුලිය සතුයි.
ලෝකයේ විවිධ ජන නායකයන්ගේ හඬ පට ඇති එකම පුස්තකාලයටද ජාතික ගුවන්විදුලිය හිමිකම් කියනවා.
ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය වශයෙන් ආරම්භ වූ ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජාතික අනන්‍යතාව රැකගැනීම උදෙසා කළ මෙහෙවර අද්විතීය බවට විවාදයක් නැහැ.





