සිපිරි ගෙයි සුපිරි ජීවිත

යම්කිසි කෙනෙකු වරදකට බන්ධනාගාර ගත වූ පසු ඔහුට හෝ ඇයට එම බන්ධනාගාර තුළ නීත්‍යානුකූලව හිමිවන පහසුකම් සම්බන්ධයෙන් නීති පොතේ ලියැවී තිබෙනවා.
ඒ අනුව අච්චු කෙරෙන පුද්ගලයෙකුට බන්ධනාගාරයක් තුළදී සීමා කෙරෙන පහසුකම් ඔහු හෝ ඇය අනීතිකව බුක්ති විඳීන්නේ නම් ඒ වෙනුවෙන් බන්ධනාගාර ප්‍රධානියා වගකිව යුතු වනවා.
ඒ ආකාරයට සිපිරි ගෙදර තුළ සුපිරි ජීවිතයක් ගත කරන පුද්ගලයකු පිළිබඳව වන වීඩියෝවක් මේ වන විට සමාජයේ මහත් කතාවකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් අප කළ විමසුමකදී අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

මේ ගාල්ල බූස්ස බන්ධනාගාරයේ සීෂෙල් අංශයේ රඳවා සිටින බව කියන රැඳවියෙකු බන්ධනාගාරය තුළ කාලය ගත කරන ආකාරයයි.
ඔහු තවත් රැඳවියෙකු ලවා තම හිස සම්බාහනය කර ගන්නා අතර, සිර මැදිරිය තුළ ජංගම දුරකථනය නිදහසේ භාවිත කරන ආකාරයත් සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවේ දැක්වෙනවා.
බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතය රැඳවියන්ට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති පසුබිමක මෙම රැඳවියා කිසිදු පැකිලීමක් නොමැතිව ජංගම දුරකථනය භාවිත කරන්නේ කෙසේ ද?
වාර්තා වන අන්දමට මෙය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වන බූස්ස බන්ධනාගාරය තුළ සිදුව ඇත්නම් එය මෙරට බන්ධනාගාර පද්ධතියේ ක්‍රියාකලාපය පිලිබඳ බරපතළ සැක සංකා මතු කරවන්නක්.
බන්ධනාගාර රැඳවියකුට ලබාගත නොහැකි මෙම පහසුකම් ඔහුට ලැබුනේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
මේ අතර මෙලෙස පසුවන්නේ උනවටුනේ කඩියා සහ අහුංගල්ලේ ඇන්ටා යන රඳවියන් බවයි මේ වන විට වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ අද පෙරවරුවේ මෙම වීඩියෝව දුටු වහාම එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
සමාජ මාධ්‍යයේ සැරිසරන මේ විඩියෝව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරීමට නිලධාරීයෙකු පත් කළ බවයි.
ඔහු විසින් සිදු කරන විමර්ශනයෙන් අනතුරුව මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Share