සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ ඉරිදා සිදු වූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් සැකකරු වන නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් චෝදනා 15 ක් සහ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීම ඇතුළු වැරදි 59 ක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන බව නිව් සවුත් වේල්ස් පොලිසිය පවසනවා.
ඔහුගේ පියා වන 50 හැවිරිදි සජිඩ් අක්‍රම්, එම ස්ථානයේදීම පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියා.
ඕස්ට්‍රේලියාවේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු මිය ගිය අතර තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
1996 න් පසු එරට සිදු වූ මාරාන්තිකම වෙඩි තැබීම මෙයයි.
මේ අතර ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් පිලිපීනය අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස හුවා දැක්වීම පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් ආර්. මාකෝස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බොන්ඩයි වෙරළේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පිලිපීනයේදී පුහුණුව ලැබූ බවට වලංගු වාර්තාවක් දැනට නොමැති බැවින්, පිලිපීනය අයිඑස්අයිඑස් මධ්‍යස්ථානයක් ලෙස විස්තර කිරීම නොමඟ යවන සුළු බවයි පිලිපීන ජාතික ආරක්ෂක කවුන්සිලය අවධාරණය කරන්නේ.
2017 මරාවි වටලෑමෙන් පසු පිලිපීන ආරක්ෂක අංශ විසින් අයිඑස්අයිඑස් සමඟ සම්බන්ධ කණ්ඩායම් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති බව පිලිපීන රජය අවධාරණය කරනවා.
ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ, වෙඩි තැබීම් සිදු කළ සජිඩ් අක්‍රම් සහ ඔහුගේ පුත් නවිඩ් අක්‍රම් යන තුවක්කුකරුවන්, ISIS ත්‍රස්ත සංවිධානයේ මුහුණුවරක් ගත් ප්‍රහාරයට පෙර පුහුණුවක් සඳහා පිලිපීනයට ගොස් ඇති බවයි.





