පැතුම් නිස්සංකගේ විශිෂ්ට ශතකයත් කුසල් මෙන්ඩිස්ගේ අනර්ඝ පිතිහරඹයත් හේතුවෙන් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ හැකි වුණා.
ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දීම ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ශ්‍රී ලංකා හමුවේ ඕස්ට්‍රේලියා T20 ලෝක කුසලාන තරගයකදී පරාජය වුණේ වසර 17කට පසුවයි.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ පැවැත්වුණේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.
දින කිහිපයකට පෙර සිටම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් ව තිබූ තරගය නැරඹීමට දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඊයේ පස්වරුවේ සිටම ක්‍රීඩාංගනය වෙත ඇදී ආවා.
පළමු තරග දෙකේ දී අසාර්ථක වූ කමිල් මිශාර වෙනුවට ඊයේ තරගයට කුසල් ජනිත් කැඳවනු ලැබුවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් මාෂ් අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේ පල්ලෙකැලේ ක්‍රීඩාගාර නිහඬ කරමින්.
ඒ අතර වාරයේදී තරගයේ පන්දු යවමින් සිටි මතීෂ පතිරණ වම්පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, මතීෂව අද ස්කෑන් පරික්ෂණයක් සඳහා යොමු කරන බවයි.
ට්‍රැවිස් ලකුණු 56කට දැවී ගියා.
නමුත් පළමු පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 110ක් රැස් කරගෙන සිටියා.
එය මෙවර තරගාවලියේ පළමු පන්දුවාර 10 තුළ කණ්ඩායමක් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ලකුණු 54ක් ලබා සිටි මාෂ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට දුෂාන් හේමන්ත සමත් වුණා.
ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය සිය පාලනයට නතු කර ගත්තා.
ඒ අනුව තරගයේ අවසන් පන්දුවාර 10 තුළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 71ක් පමණයි.
අවසන් පන්දුවාර 4 තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලකුණු 21ක් පමණක් ලබා දී කඩුලු 6ක් දවා ගැනීම කැපී පෙනුණා.
එහිදී මැක්ස්වෙල් දවා ගැනීමට පැතුම් නිස්සංක රැකගත් උඩපන්දුව සුවිශේෂී වුණා.
පන්දු යැවීමේදී දුශාන් හේමන්ත කඩුළු 3ක් සහ දුෂ්මන්ත චමීර කඩුළු 2ක් දවා ගත්තා
ලකුණු 182ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා එක් ලකුණකට දැවී ගියා.
ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් – පැතුම් සුසංයෝගය දෙවැනි කඩුල්ලට ලකුණු 97ක සබඳාතාවක් ගොඩනැගුවා.
තරගාවලිය පුරාම නිහඬව සිටි පැතුම් නිස්සංකගේ පිත්ත, ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණා.
හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් සමග පන්දු 52ක් තුළ ඔහු නොදැවී රැස් කළේ මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයයි.
එය ශ්‍රී ලංකා ක්‍රීඩකයකු විසින් T20 ලෝක කුසලාන තරගයකදී රැස්කළ දෙවන ශතකයි.
මීට පෙර ශතයක් රැස්කරගත් එකම ක්‍රීඩකයා වූයේ මහේල ජයවර්ධනයි.
මෙය t20 ලෝක කුසලානය තරගාවලියක දී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය වන අතර ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු වන්නේ ද පැතුම් නිස්සංකයි.
පැතුම්ට අනගි සහයක් වූ කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ පිට පිට තෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කළා.
පන්දුවාර 2ක් ඉතිරිව තිබියදීම කඩුළු 2ක් පමණක් දැවී ජයග්‍රාහී කඩයිම පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකාව මෙම හඹාගිය ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20 තරගයක මව්බිමේදී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
ලෝක කුසලාන තරගාවලියකදී හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණා.
මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ඔස්ට්‍රේලියා කණ්ඩායමක් පරාජයට පත්කරන්නේ වසර 17කට පසුව වීමත් ඊයේ ජයග්‍රහණයේ තවත් සුවිශේෂී කරුණක්.
තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වුයේ පැතුම් නිස්සංකයි.
මෙම පරාජයත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුපිරි 8දෙනාගේ වටයට පිවිසීමට නම් සෙසු කණ්ඩායම් මත රැඳී සිටින්නට සිදුව තිබෙනවා.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය අයර්ලන්තය ජය ගත යුතුම වනවා.
තරගයේ ජයග්‍රහණයෙන් ක්‍රීඩා ලෝලීන් මහත් උද්දාමයට පත්ව සිටියා.





