සැදැහවතුන්ට සර්වඥ ධාතු වන්දනාවට අද සිට අවස්ථාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ මෙරටට වැඩම කරවන ලද අති පූජනීය දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සැදැහැවතුන්ට වැඳපුදා ගැනීමේ අවස්ථාව අද සිට උදා වුණා.
ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත මේ වන විටත් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා.
විහාරස්ථානය හා අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අති පූජනීය දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් බිම වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේ කළ කැණීම් අනුව සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොතිබීමද විශේෂත්වයක්.
දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ පස්වරුවේ මෙරටට වැඩම කරවනු ලැබුවා.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා සකස් කර ඇති විශේෂ සුගන්ධ මණ්ඩපයක තැන්පත් කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම පුෂ්පෝහාරය සිදුකරමින් ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කළා. ඒ අනුව අද පෙරවරු 6 සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවුණා. අද පෙරවරුවේ සිටම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් පැමිණ සිටියා. ශ්‍රී සර්වඥ ධාතු වන්දානාවට පැමිණෙන සැදැහවතුන්ගේ පහසුව උදෙසා දන්සැල් කිහිපයක්ම සංවිධාන කර තිබෙනවා.

මේ අතර සර්වඥ ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුල ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අලුත්ගම, අවිස්සාවේල්ල සහ රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා අමතර දුම්රිය අද සිට ධාවනයට එක් කර තිබෙනවා.
අද සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් සැදැහැවතුන්ට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට එක්වීමේ භාග්‍යයවත් අවස්ථාව උදා වී තිබෙනවා.

Share