සැකකාරියක පලායාම හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකාරියක පැය කිහිපයක් ඇතුළත යළි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකාරිය පලායෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ හෝටලයක් අසලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 37ට ආසන්න ප්‍රමාණයක් සමඟ පසුගියදා මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇයව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉකුත් 16 වනදා අලුයම 2.55ට පමණ ඇය පොලිසියෙන් පලාගොස් තිබුණේ වැසිකිළිය වෙත යාමට අවසර ලබාගත් අවස්ථාවේදියි.
කාන්තා පොලිස් නිලධාරිනියකගේ භාරයේ සිටියදී සැකකාරිය පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණ අසල නවතා තිබූ යතුරුපැදියක නැගී පලා යන අයුරු අසල තිබූ CCTV කැමරාවල ද සටහන්ව තිබුණා.
මෙලෙස පලා ගිය සැකකාරිය ගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි 23 හැවිරිදි තැනැත්තියක්.

කෙසේ නමුත් පලාගිය සැකකාරියව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, දෙහිවල ප්‍රදේශයේදී ‘සනා මාමා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සහ කළුතර නාගරික මන්ත්‍රී අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබීමේ සිද්ධීන්ට සම්බන්ධ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩිතැබීම් සඳහා පැමිණි යතුරුපැදිකරු, ගිනිඅවි හුවමාරු කිරීමට සහාය වූ පුද්ගලයෙකු, අපරාධයෙන් පසු යතුරුපැදියේ වර්ණය වෙනස් කළ අයෙකු සහ යතුරුපැදිය සඟවා තබා ගැනීමට උදව් කළ පුද්ගලයෙකු ද සිටින බවයි.
මීට අමතරව, බන්දුල ප්‍රසන්න මහතා සිටි ස්ථානය වෙඩික්කරුවන්ට පෙන්වා දුන් සැකකරුද පොලිස් දැලට හසුවී තිබෙනවා.
කළුතර නාගරික මන්ත්‍රී අපේක්ෂකයාට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු මුලින්ම අත්අඩංගුවට ගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් කළුතර, ජාවත්ත සහ බෝම්බුවල ප්‍රදේශවල පදිංචිකරුවන්.
අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය කොටස් කර, එහි වර්ණය වෙනස් කර කළුතර උතුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත්තා.
එමෙන්ම දෙහිවල ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 8ක මුදලින් මිලදී ගත් නව යතුරුපැදියක් සහ වර්ණ ගැන්වීමට යොදාගත් තීන්ත ටින් එකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ බලහරුව ප්‍රදේශයට ගොස් ඇත්තේ විශේෂ වැටලීමක් සඳහා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ අරමුණින්.
එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම ස්ථානයේ සිටි ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් පිරිසක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දැඩි කලහකාරී ලෙස හැසිරුණා.
එම අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වය අසල සිටි අයෙකුගේ ජංගම දුරකථන කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
පොලිස් රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share