සාම පාද යාත්‍රාවේ අවසන් දිනය

ලෝකයට සාමයේ පණිඩුවය ගෙන යන WALK ‌FOR PEASE සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.
පාද යාත්‍රාවට සමගාමීව අද පෙරවරුවේ කැළණිය රාජමහා විහාරස්ථානයේදී පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි සහභාගී වූ විශේෂ ධර්ම දේශනා වැඩසටහනක් ද පැවැත්වුණා.

පසුගිය 22 වැනිදා රන්ගිරි දඹුලු විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ කෙරුණු ඒහිපස්සිකෝ නමින් නම් කෙරුණු WALK ‌FOR PEASE පාද යාත්‍රාවේ නිරත භික්ෂූන් වහන්සේ මේ වන විට දින 6 ක් පුරා කිලෝමීටර් 180ක දුරක් පාද යාත්‍රාවේ නිරත වී තිබෙනවා.
පාද යාත්‍රාවේ අවසන් දිනය වන අද දිනයේ දී තවත් කිලෝමිටර් 15ක දුරක් මෙම භික්ෂූන් වහන්සේ කණ්ඩායම පාද චාරිකාවේ නිරතවීමට නියමිතයි.
ඒ අනුව WALK ‌FOR PEASE සාම පාද යාත්‍රාව අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් යළි ආරම්භ වනවා.
එය පස්වරු 4ට කොළඹ නිදහස් චත්‍රරස්‍රයට ලඟා වීමට නියමිත අතර එහිදී විශේෂ රාජ්‍ය උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීම සිදු කෙරෙනවා.
අනතුරුව යළි නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට පාද චාරිකාව ආරම්භ වන අතර කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු එය නිමාවට පත් වනවා.
මේ අතර කොළඹට ලඟා වීමට නියමිත පාද චාරිකාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සහ අධික රථවාහන තදබදයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් අද දිනයේ කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය බොරැල්ල හංදිය දක්වාත්, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවලත් උදෑසන 11 සිට අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කර ඇති බව පොලිසිය සදහන් කළා.

Share